sunil-madhawa-premathilake

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක ඊයේ (23) පස්වරුවේදී අභාවප්‍රාප්ත වූයේය. මියයන විට ඔහු 78 වියෙහි පසුවිය.
සුනිල් මාධව ප්‍රේමතිලක හොරණ තක්ෂිලාවේ හා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. සිය පුවත්පත් කලාව ආරම්භ කළේ ලේක්හවුස් ආයතනයෙනි. “සිළුමිණ“ සංස්කරණය කළ “හදවත ඇඳි ගී“ ප්‍රථම නිසදැස් කවි පිටුව ලංකාව පුරා ජනප්‍රිය විය.
අනතුරුව ඔහු දිවයින පුවත්පතේ ආරම්භයත් සමග ඊට එක්විය. ‘දිවයින‘ පුවත්පතේ අටවැනි පිටුව නිසා ඔහු ප්‍රකට විය. ඔහු තරුණ අරගලවලට සහාය දුන්නේය. ඔවුන් වෙනුවෙන් කතා කළේය. ඔහු විකල්ප පත්තරවලට පුරෝගාමි විය. “ලක්මිණ“, “ලක්දිව“, “හිරු“ පුවත්පත්වලින් තම මතය රටට ප්‍රකාශ කළේය.


ඔහු සමග ලක්දිව පුවත්පතේ සේවය කළ අය අතර ඩලස් අලහප්පෙරුම හා විමල් වීරවංශ ඇමතිවරුන්ද සිටී.
සුනිල් මාධව ග්‍රන්ථ කිහිපයක් ම ලියා ඇත. ‘හඬනු මැන නිදහස‘ ස්ටීච් බිකෝ රචිත කෘතියක පරිවර්තනයකි.
“සත්‍යවාදියෙකුගේ දිනපොත“ - “අන්ධකාරයේ දරුවා“ - “මිනිසෙක්“ - “ඇමරිකා ඇමරිකා“ - “සැබෑ කවියකුගේ කතාව“ - “ශ්‍රේෂ්ඨයා“ - “ජීවිතය සුන්දරයි“ අනෙක් කෘති අතර වෙයි. ඔහු මොහොමඩ් අලිගේ කතාව The Greatest කෘතිය පරිවර්තනය කළේ තම බාල සොහොයුරු සඳුන් රංජන ප්‍රේමතිලක සමඟය.
සිළුමිණ කතුවරයකු ලෙස කටයුතු කල මීමන ප්‍රේමතිලකගේ වැඩිමල් පුතනුවන් වන සුනිල් මාධව විවාහව සිටියේ මාධ්‍යවේදිනියක වන මනෝරා සමගය.1992 දී විවාහවූ  සුනිල් මාධව එක්දරු පියෙකි.

සුනිල් මාධවගේ පුතු නන්ජිත මාධව ප්‍රේමතිලක බැංකුවක සේවය කරයි.
දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් දන්වා තිබේ.

ඔහු වෙනුවෙන් තම “ෆේස් බුක්” පිටුවේ සටහනක් තබන අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ සඳහන් කර තිබේ.

අද…
‘සත්‍යවාදියෙකුගේ දිනපොතට’ සමුදුන්
එදා…
විප්ලවීය මාධ්‍යකරණයක පහස අප හද රන්දා
ඒ අඳුරුතම යුගයේ අපේ පෑනට තෙළිතුඩට ජීවය පිඹිමින්
‘නිදහස ඉල්ලා හඬන’ සැමට
ප්‍රදීපස්ථම්භයක් වූ…
ආදරණීය සුනිල් මාධව ප්‍රේමතිලක සහෘදයාණෙනි,
ඔබට නිවන් සුව…!
– විමල් වීරවංශ (විමලසිරි ගම්ලත්)