tamil-sir-horana-anthurium

හොරණ නගරයට ආසන්න රජයේ විදුහලක දෙමළ මාධ්‍ය ගුරුවරයෙකු ලෙස සිටිමින් වංචනික මුදල් ජාවාරම් කරන්නෙකු හොරණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඇන්තූරියම් වගාවකට ආයෝජනය කරන මුදල්වලට සිත්ගන්නා සුලු ඉහළ පොලියක් ලබා දෙන බව පවසා ඇති ඔහු රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචාසහගත ලෙස ලබාගෙන ඇති අතර ඒවා නැවත දීගත නොහැකිව සැඟව සිටි බව පැවසේ.
  47 හැවිරිදි මෙම ගුරුවරයා ගැන වංචාවන්ට ගොදුරුවූ පුද්ගලයන් තිස්පස් දෙනෙකුට අධික ප්‍රමාණයක් පොලිසියට පැමිණිලි කර තිබුණි.
එම පැමිණිලිකරුවන් අතර බහුතරයක් දෙනා ගුරු වෘත්තියේ යෙදෙන්නන් බවත් සෙසු අය ඔවුන්ගේ ඥාතීන් සහ හිතවතුන් බවත් වාර්තාවිය.



සැකකාර ගුරුවරයා විසින් වෙනත් පුද්ගලයන් සිදුකරන ඇන්තූරියම් වගාවන් ඔවුන්ගේ බව පවසා ඒවා පෙන්වා මුළා කර එයට මුදල් ආයෝජනය කළ හොත් රුපියල් ලක්ෂයකට 20,000 ක මාසික පොලියක් ලබා දෙන බව පවසා මෙම වාංචාව සිදු කර ඇත.
ගුරු වරුන් දස දෙනෙකු රුපියල් ලක්ෂ 10 සිට ඉහළ මිල ගණන් සැකකරු පවසා තිබූ ඇන්තූරියම් ව්‍යාපෘතියට ආයෝජනය කර තිබුණ අතර
සෙසු අය ලක්ෂ දහයට අඩු මුදල් ප්‍රමාණ ලබාදී  ඇති බව පැමිණිලිවලින් කියැවුණි. විශ්වාසය තහවුරු වන පරිදි විවිධ වර්ණයෙන් යුත් සහතික පත්ද ඔහු ලබාදී ඇත.
මුදල් ආයෝජනය කළ පුද්ගලයන්ට මුල් මාස දෙක තුන නිසි පරිදි පොරොන්දු වූ පොලී මුදල ලබා දී  ඇති සැකකරු විශ්වාසය තහවුරු වූ පසු මුදල් ගෙවීම ප්‍රමාද කරමින් වංචාව කරගෙන ගොස් ඇත.
ආයෝජනය කළ ගුරුවරුන්ගේ මාර්ගයෙන් තවත් අය මෙම ක්‍රමයට බඳවාගෙන තිබුණි.


 මුදල් ආයෝජනය කරන ලද ගුරුවර  ගුරුවරියන් බැංකුවලින් ලක්ෂ ගණනින් ණය මුදල් ලබාගෙන නැවත නැවත එකිනෙකාට හොර රහසේ සැකකරු පැවසූ ව්‍යාපෘතියට මුදල් ආයෝජනය කර මෙම වංචාවට ලක්ෂ ගණනින් අසු වී ඇතැයි විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකාර ගුරුවරයා පරිහරණය කළ දුරකථනය විසන්ධි කර සිටි අතර  මන්නාරම, යාපනය නුවරඑළිය ආදී  ප්‍රදේශවල තැන තැන ඇවිදිමින් සැගවී සිටි බව අනාවරණය විය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී ඇත්තේ බස් රථ ගාස්තු සඳහා තබාගත් සුළු මුදලක් පමණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.