කොළඹ - කුරුණෑගල ප්රධාන මාර්ගයේ වරකාපොල තුල්හිරිය ඇඟලුම් කර්මාන්තපුරය ආසන්නයේ දී ඊයේ (1) දහවල් ලංගම බස් රථයක් සහ ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී ත්රිරෝද රථයේ ගමන් කළ වයස අවුරුදු 10ක පිරිමි දරුවකු ඇතුළු තිදෙනකු මියගොස් තවත් සිවු දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුණු බව වරකාපොළ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කළුතර බේරුවල චීන කොටුව කන්ගනගොඩ ප්රදේශයේ පදිංචිකරුවන් වූ ත්රිරෝද රථයේ රියදුරු (63) ඔහුගේ පුත්රයා (26) සහ ත්රිරෝද රථ රියැදුරුගේ දියණියගේ පුතා (10) යන තිදෙනාය.
අනුරාධපුර ඩිපෝවට අයත් ලංගම බස් රථය කොළඹ සිට අනුරාධපුරය බලා ගමන් කරමින් සිටිය දී කුරුණෑගල සිට කළුතර බලා ගමන් කළ ත්රිරෝද රථයේ මුහුණට මුහුණ ගැටී ඇතැයි පරීක්ෂණවල දී අනාවරණය වූ බව වරකාපොළ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ඒ. ධර්මරත්න මහතා පැවසීය. අනතුරින් ත්රිරෝද රථය කුඩුපට්ටම් වී තිබිණි.
ත්රිරෝද රථයේ ගමන් කළ පිරිස කුරුණෑගල ප්රදේශයේ හිතවතකුගේ නිවෙසකට ගොස් ආපසු කළුතර බලා ගමන් කරමින් සිටිය දී අනතුරට මුහුණ පා ඇතැයි කියති. සිද්ධිය සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
0 Comments