දුරගමන් සේවා දුම්රිය සඳහා කලින් ආසන වෙන්කිරීමේ කටයුතු අවිධිමත්ව වීම හේතුවෙන් මගියකුට එක් ආසනයක් වෙන් කරගැනීමට බොහෝ කාලයක් ගතවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කර සිටියි.
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලදී දහස් සංඛ්‍යාත මගීන් පිරිසක් දුම්රිය ආසන වෙන්කර ගැනීම සඳහා පැමිණ දැඩි අපහසුතාවට පත්වන බවත් පවතින මෙම ක්‍රමවේදය නිවැරදි කරන්නැයි අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළත් දුම්රිය බලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර සති අග අරුණට පැවසීය.
දුම්රිය ධාවනය වීමට ඇති දිනවලදී පවා කලින් ආසන වෙන්කර ගැනීමට හැකි වුවත් දුම්රිය ධාවනය වීමට නියමිත දිනයේ වේලාවට පෙර පැමිණ ආසන වෙන්කර ගන්නා මගීන් බොහෝ දෙනකුටම වෙන්කරගත් ආසනයද අතැතිව මුදල්ද නොමැතිව ආපසු හැරී යාමට සිදුවන්නේ දුම්රිය නියමිත වේලාවට ධාවනය නොවීමෙන් බවත් වරද දුම්රිය ධාවනයේ නොව ක්‍රියාත්මක පද්ධතියේ බවත් ඔහු කීවේය.
ලක්ෂයකට වැඩි මගීන් පිරිසක් දෛනිකව ගමන් කරන මරදාන දුම්රිය ස්ථානයේ ආසන වෙන්කිරීමේ කවුළුව දුම්රිය ස්ථානය පිටුපස පැත්තෙන් ස්ථාපිත කර ඉදිරිපසින් ඇති ආසන වෙන්කිරීමේ කවුළුව වසා තැබීමෙන් ආසන වෙන්කර ගැනීමට පැමිණෙන මගීන් බොහෝ පිරිසකට දැඩි අපහසුතාවකට මුහුණ දීමට සිදුව ඇතැයි ද එවන් මගීන් ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන ගේට්ටු හරහා ගමන් කිරීමේදී දැඩි අසීරුතාවන්ට ලක්වීමට සිදුවේ.
දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ දී පවතින ප්‍රමාදය ගැන දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දරගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා පවතින මෙම ක්‍රමවේදය පෙබරවාරි මාසය අවසන් වීමට පෙර වෙනස් කරන බවය. ඒ අනුව මගීන්ට අපහසුතාවකට ලක් නොවී මාර්ගගත ක්‍රමයෙන් ප්‍රවේශපත්‍ර ගත හැකි ක්‍රමවේදයක් සකසන බවද සාමාන්‍යාධිකාරීවරයා කීවේය.
එෆ්. අස්ලම්
0 Comments