wendaruwe-uplai-thera

මෙරට විවිධ ආයතන මගින් ගෞරව නාම සම්මාන ලබාදෙන ආකාරය අනුව ඉතා නුදුරේදීම මෙරට ජනගහනයෙන් හරි අඩකට වඩා ගෞරව සම්මානලාභීන් වන බවත්, ඒ හරහා ගල් පිළිම යටපත් වී බොල් පිළිම ඉස්මතු වන කනගාටුදායක වාතාවරණයක් රට තුළ ඉස්මතු වෙමින් පවතින බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියෝ පැවසූහ. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය එච්.එම්. ඩී.බී. හේරත් මහතාට සහ ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තත්සුරු අකිමොටෝ මහතාට උපහාර දැක්වීම සඳහා කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා වන අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලය මගින් ඊයේ (22දා) මහනුවරදී සංවිධානය කොට තිබූ උත්සවයකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ. වැඩිදුරටත් අදහස් දැක්වූ අනුනාහිමියෝ, "අද වනවිට මෙරට විවිධ ආයතන මගින් ගෞරව නාම සම්මාන උපහාර දෙන උත්සව පවත්වනවා.

සුදුසුකම් ඇති පුද්ගලයන්ටද මේ ගෞරව නාම ලබාදෙන්නේ කියන සැකය අප හැමෝටම මතුව තිබෙනවා. විවිධ චෝදනාවලට ලක්වූ වංචනිකයන්, දූෂිතයන්, මුදල් වැය කර මේ ගෙරව නාම ලබාගන්නවා. පෙර කල මෙවන් ගෞරව නාම ලබාදුන්නේ සුදුස්සාට පමණයි.

අද වනවිට නුසුදුසු අයත් මේ සම්මාන ලැබීම නිසා ගෞරව නාමවල සැබෑ වටිනාකම නැති වී තිබෙනවා. ආචාර්ය හේරත් වැනි ගල් පිළිම උදෙසා උපහාර පුද කිරීම අපි අගය කරනවා. මහාචාර්ය හේරත්  මහතා විශ්වවිද්‍යාලයේ සේවය කරන සමයේ මෙම විශ්‍රාම ගිය පසුවද රට ජාතිය ආගම වෙනුවෙන් විශාල සේවයක් කළා. ඒ මහතා සිංහල බෞද්ධාගම වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටිමින් කළ සේවය විශිෂ්ටයි. එතුමාගේ සේවය ආගමික, සංස්කෘතික, සමාජීය හා අධ්‍යාපන වශයෙන් පුළුල් පරාසයක් කරා විහිදී පැතිරෙනවා.

ඒ මහතා ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද කළ මහඟු සේවය ඇගයීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සැමගේ යුතුකමක්" යනුවෙන් ප්‍රකාශ කළහ.