කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ යාපනය වලිකාමම් චාරිකාවට වැය වූ සමස්ත වියදම රු. 24,93,310ක් පමණක් බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පසුගිය 28 වැනි පැවැති කොළඹ මහ නගර සභා මාසික රැස්වීමේදී කරුණු පැහැදිලි කරමින් පැවසුවාය.තිස් වසරක් පැවැති යුද්ධය නිමා වූ පසු තවදුරටත් එවැනි වටපිටාවක් නිර්මාණය නොවන පරිදි උතුර හා දකුණ අතර සංහිඳියාව ඇති කර ගැනීම වෙනුවෙන් සැලසුම් කළ මෙම චාරිකාවේ අරමුණ විකෘති කරමින් මාධ්‍ය මගින් එය කාලා බීලා ජොලි කරන්නට ගිය ගමනක් සේ හුවා දැක්වීම පිළිබඳව තමන් දැඩිව කනගාටු වන බව ද ස්නානායක මහත්මිය සඳහන් කළාය.
මෙම චාරිකාව සඳහා ලක්ෂ තිස් හතරක් වැය වනු ඇතැයි මුලින් ඇස්තමේන්තු කළ ද, පසුව එහි වියදම් විශාල ප්‍රමාණයක් අඩුකර ගන්නට හැකි වූ බව ද එහිදී මන්ත්‍රීවරුන් දෙදෙනා සිටින හෝටල් කාමර මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු වෙනුවෙන් යොදා ගනිමින් කාමර ප්‍රමාණය අඩුකර ගැනීම ද, හෝටලයෙන් වට්ටමක් ලබාගැනීමට හැකි වීම ද නිසා මෙලෙස වියදම අඩුවූ බව ද ඇය කීවාය.
ක්‍රීඩා ඇඳුම් සඳහා මන්ත්‍රීවරුන් පෞද්ගලිකව වියදම් දැරූ බවද, ඒ නිසා නගර සභාවෙන් කිසිදු වියදමක් වෙන් නොවූ බව ද පුරපතිනිය පැවසුවාය. මෙය හුදෙක් විනෝද චාරිකාවක් නොවන බවද, යාපනය මහ නගර සභාවෙන් හා මනිපායි ප්‍රාදේශීය සභාවෙන් කළ ආරාධනාවකට අනුව කොළඹ හා යාපනය අතර සහෝදරත්වය, සංහිඳියාව වර්ධනය කර ගැනීම ද, දෙපාර්ශ්වය අතර දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගනිමින් එකිනෙකාට උදව් උපකාර කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම ද මෙම ගමනේ අරමුණ බව ද ස්නානායක මහත්මිය එහිදී සඳහන් කළාය.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රිනී එම්.ඒ. දේවිකා මහත්මිය සඳහන් කළේ, තමන් නාගදීපය වැදගත්තේ පළමු වරට මෙම චාරිකාව නිසා බැවින්, එය මහත් පිනක් බවය. මෙම චාරිකාව සඳහා වැය වූ මුදල් සියල්ල මන්ත්‍රීවරුන්ගෙන් අය කර ගැනීමේ ක්‍රමයක් හදන ලෙස තමන් යෝජනා කරන බව ද ඉදිරියේදී මන්ත්‍රී වැටුප ඇතුළු කිසිදු වරප්‍රසාදයක් තමන් සභාවෙන් ලබා නොගන්නා බව ද, එම මුදල ද ජනතාව වෙනුවෙන් සේවය කිරීමට යොදවන ලෙස සභාවට දැනුම් දෙන බව ද ඇය පැවසුවාය. ඒ සම්බන්ධයෙන් වූ ලේඛනයක් ද ඇය සභාවට ඉදිරිපත් කළාය.
0 Comments