දළදා කරඬුව ඇසල මහේ පෙරහරේ වැඩමවීමට තෝරාගනු ලබන්නේ තේජස පිරුණු ඇතුන්ය. පසුගියදා නැදුන්ගමුවේ හස්තියාගේ සමුගැනීමෙන් පසු එම අඩුව පිරවීමට ඊළඟ ඇසළ පෙරහරේ ධාතු කරඬුව වඩම්මවන්න කතරගම වාසනා හස්තියා ඒවි යැයි මේ වනවිට අනුමාන කෙරේ.
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහරත්, ඉල්මහ පෙරහරත්, අලුත් අවුරුදු පෙරහරත් යන පෙරහර මංගල්යන්හිදී කතරගම දෙවියන්ගේ දේවාභරණ වැඩමවීම සිදු කරන්නේ වාසනා ය. රත්නපුර මහ සමන් දේවාල පෙරහර, ගැටබරුව, සීනිගම, කෝට්ටේ සහ කැලණිය ආදී ශ්‍රී ලංකාව පුරා පැවැත්වෙන පෙරහර වලටද දායකත්වය සපයා ඇත.
2005 වර්ෂයේ සිට ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම කිරීමේ අවස්ථාවන්ටද වාසනා සම්බන්ධ කරගත් අතර වාසනා අවසාන මහා රන්දෝලි පෙරහරේ කරඩුව වැඩමවීම ද වාර ගණනාවක් ඉටු කර තිබේ.අවසන් වරට 2019 වසරේ දී අවසන් මහා රන්දෝලි පෙරහරේ කරඬුව වැඩමවීම සිදු කර ඇත.
1978 පමණ අනුරාධපුර කැළෑවක අතරමං ව සිට සොයාගත් මෙම ඇත් පැටවා පින්නවල අලි අනාථාගාරයට රැගෙන ඒමෙන් පසු රුහුණු මහා කතරගම දේවාලයට පූජා කොට ඇත. වාසනා ඇතාගේ වයස මේ වන විට අවුරුදු 49 කි. උස අඩි 10කි. ඇතැගේ භාරකරු අජිත් අශෝක ලියනගේ වන අතර ඔහුගේ පුතුන්ද මේ වනවිට රැකබලාගැනීම බාරව සිටී.
1989 භීෂණ සමයේ කතරගම දේවාලයේ පෙරහරට බෝම්බ ප්‍රහාරයක් එල්ලවූ අවස්ථාවේ 9 දෙනෙකු මියගිය අතර වාසනා ඇතාට තුවාල සිදු විය.මහනුවර දළදා පෙරහැර අවසන් කොට එද්දී වරක් 18 වංගුව ප්‍රදේශයේ දී වාසනාට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර ගෙල ප්‍රදේශයට හානි වී තිබේ. ඇතාගේ දළ ගෙවී යාම නිසා ස්ථිර කොපු සවිකර ඇති අතර මීට වසර කිහිපයකට පෙර මද කිපෙන කාල සීමාවේ දී වම් දළයේ අග කොටස කැඩී පිළිසකර කර ඇත.
පෙරහරේ ගමන් කිරීමේ දී සිය හොඬවැල දළ අතර රඳවා ගෙන ගමන් කිරීම කතරගම වාසනා ඇතාගේ විශේෂ ලක්ෂණයකි.
0 Comments