Conflicts-in-Kesbewa,-Hatton-and-Sevanagala-due-to-refusal-to-supply-diesel-to-cans

ඉන්ධන පිරවුම්හල් මගින් කෑන් හා බූලිවලට ඩීසල් ලබාදීම නවතා දැමීම හේතුවෙන් පිරවුම්හල් සේවකයන් හා ගැනුම්කරුවන් අතර ගුටිබැට හුවමාරුවීම් තුනක් ඊයේ (17 වැනිදා) දිනයේ දී වාර්තා විය. කැස්බෑව, හැටන් සහ සෙවණගල ප්‍රදේශවලින් මෙම සිදුවීම් අනාවරණය වී තිබුණු අතර එම තත්ත්වයන් පාලනය කරගැනීමට පොලිසියට ද මැදිහත්වීමට සිදුව ඇත.



මේ ආකාරයේ ගැටුම් ගණනාවක් විවිධ ප්‍රදේශවලින් වාර්තා වීමෙන් බොහෝ ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාවද යෙදවීමට කටයුතු කර තිබේ.

කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලක හිමිකරු ඇතුළු සේවකයන් සහ ඉන්ධන ලබාගැනීමට පැමිණි පිරිසක් අතර බහින්බස් වීමක් ඇතිවී එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබුණේ පෙරේදා (16 වැනිදා) රාත්‍රියේය. එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු කැස්බෑව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්ධනහල් හිමිකරු කෑන් සහ බූලි සමගින් සිටි පිරිසට ඉන්ධන අවසන් බව දැනුම් දීමත් සමග දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් හටගෙන තිබේ. එය ඉන්ධනහලේ සේවකයන් මැදිහත් වීමෙන් පසු ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර ඉන්ධන ලබාගැනීමට පැමිණ සිටි කාන්තාවක් පිරවුම්හලේ හිමිකරුගේ පුත්‍රයා පිටුපස හඹා ගොස් පහරදී ඇති අතර ඉන්ධන පිරවුම්හලේ සේවකයන් ඇයටද පහරදී තිබිණි.



පිරවුම්හල ඉදිරිපිට රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු පැමිණ ගැටුම සමථ කිරීමෙන් පසු ගැටුමට සම්බන්ධ වූ පිරිස හූ කියා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ. ගැටුම නිමවීමත් සමගම ඉන්ධන ලබා දෙමින් තිබූ ඩීසල් පොම්පය අසල විදුලිය ද විසන්ධි වී එම ප්‍රදේශය අන්ධකාර වී ඇත.

මේ ආකාරයේ තවත් සිදුවීමක් ඊයේ (17 වැනිදා) හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හලකින් අනාවරණය වූ අතර ඊට හේතු වී තිබුණේ වාහන කිහිපයකට ඩීසල් ලබාදීමෙන් අනතුරුව කැබ් රථයකින් රැගෙන ආ බැරල් පහකට ඩීසල් ඉන්ධන ලීටර් 1200 ක් ලබාදී බූලි අතැතිව පෝලිමේ රැඳී සිටි පිරිසට ලබාදීමට ඩීසල් නොමැති බව ඉන්ධන පිරවුම්හල් සේවකයන් සඳහන් කිරීමය.



මේ අතර සෙවණගල නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ජනතාව පෝලිමේ සිටියේ දී එම ජනතාව පිළිබඳ කිසිදු තැකීමක් නොකර ජල බවුසරයකට ඉන්ධන ලබා දීමට යාමෙන් ඉන්ධන පිරවුම්හල් සේවකයන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.