He-is-22-years-old.-He-broke-into-14-houses-in-3-months-and-stole-Rs-5-million

රාජ්‍ය ආයතනයක සභාපති තනතුරක් දරන වෛද්‍යවරයකුගේ නිවස ඇතුළු නිවාස 14ක් බිඳ රුපියල් ලක්ෂ 50කට අධික වටිනා දේපළ සොරාගත් 22 හැවිරිදි පුද්ගලයකු මාලබේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය කියයි.  මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී එලෙස සොරාගෙන තිබූ රන් භාණ්ඩ, ජංගම දුරකථන, ලැප්ටොප්, විදේශවලින් ගෙන්වන ලද ලක්ෂ ගණනක් වටිනා අන්ඩරලෝසු, විදේශීය මුදල් ආදිය සහ නිවෙස් බිඳුම් සිදුකිරීම සඳහාම සකස් කරගෙන තිබූ ඉස්කුරුප්පු නියන් කිහිපයක්ද පොලිස්  අත්අඩංගුවට ගෙන ඇත. 

මාලබේ රොබට් ගුණවර්ධන  මාවතේ පදිංචි සභාපතිවරයාගේ දෙමහල් නිවසට ඉකුත් මස 9 වැනි දින ඇතුළු වී නිවසේ තිබූ ලක්ෂ තුනක් පමණ වටිනා ජංගම දුරකථනය සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම  සඳහා විමර්ශන සිදු කරමින් සිටියදී පොලිස් සැරයන් (16053) අතුල මහතාට ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සභාපතිවරයා ඇතුළු නිවැසියන් දෙමහල් නිවසේ උඩුමහලේ නින්දේ සිටියදී තාප්පයෙන් පැන වත්තට ආ සැකකරු ගරාජයේ තිබූ මෝටර් රථ දෙකේ දොරවල් විවෘත කිරීමට නොහැකි වූ තැන රැගෙන ආ  ඉස්කුරුප්පු නියන් ආධාරයෙන් නිවසේ ජනේලයක් විවෘත කර නිවසට ඇතුළු වී නිවසේ සාලයේ සෝපාවක් මත තිබූ ජංගම දුරකථනය සොරාගෙන  ගොස් තිබිණි. එම නිවස පිහිටි වත්තට සැකකරු ඇතුළු වී ගමන් කරන අයුරු සීසීටීවී කැමරාවක සටහන්වීමෙන් අනතුරුව  එය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සැකකරු හඳුනාගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි. සැකකරු එදිනම එම ප්‍රදේශයේ තවත් නිවාස හතරකට ඇතුළු වී  දෙකකින් දේපොළ සොරාගෙන තිබූ බවත් අනෙක් නිවාස දෙකේ නිවැසියන් අවදිවීම හේතුවෙන්  සැකකරු පලාගොස් තිබූ බවත් පොලිසිය කියයි.



අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී මාලබේ නිවාස තුනක්, තලංගම නිවාස හතරක්, කඩවත නිවාස දෙකක්, සපුගස්කන්ද නිවාස තුනක්, වැලිවේරිය හා රාගම නිවාස එක බැගින් බිඳ දේපළ සොරාගෙන තිබූ බව හෙළි වූ බවද පොලිසිය පවසයි. මාලබේ වෛද්‍යවරයාගේ මෙන්ම තවත් වෛද්‍යවරුන් දෙදෙනකුගේ නිවාස බිඳ සැකකරු දේපළ සොරාගෙන ඇති බව විමර්ශනවලදී  හෙළිවී තිබිණි. සොරකම් නඩු කිහිපයක් සම්බන්ධයෙන් සිරගත වීම මීට මාස තුනකට ඉහතදී ඇප මත පැමිණ සිටි මෙම සැකකරු එතැන් සිට ගෙවුණු මාස තුන තුළ මෙම සොරකම් සියල්ල සිදුකර ඇතැයි ද එම දේපළ සොරාගත් සියලුම නිවාස දෙමහල් නිවාස බවද පොලිසිය කියයි.  සොරකම් සියල්ල රාත්‍රී කාලයේ දී කර තිබූ බව සීසීටීවී කැමරා දර්ශන පරික්ෂා කිරීමේ දී පැහැදිලි  වූ බව පොලිසිය පවසයි.

වයස අවුරුදු 16දී පානදුර ප්‍රදේශයේ රැකියාවකට ගොස් ඇති සැකකරු මිතුරන් මාර්ගයෙන් මත්කුඩුවලට දැඩිව ඇබ්බැහිවී ඒවා මිලදී ගැනීම සඳහා සොරකම්වලට යොමු වී ඇති බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය .  මත්කුඩු සඳහා මුදල් සොයා ගැනීමට නොහැකිවූ එක් අවස්ථාවක තම මව පැළඳ සිටි කරාබු දෙකද  ගලවාගෙන ගොස් උකස් තබා සැකකරු මත්කුඩු පානය කර ඇති බව ඔහුගේ මවගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ බවද පොලිසිය කියයි. ඇතැම් අවස්ථාවල මෙසේ  සොරාගෙන රැගෙන ආ භාණ්ඩ බූරුපොළවලින් උකසට ලබාගත් ඒවා බවට බොරු කියා මව ලවා ඒවා උකස්කර මුදල් ලබාගෙන තිබූ බව සිදුකළ දීර්ඝ විමර්ශනවල දී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

 

සොරාගත් එම භාණ්ඩ කිරිබත්ගොඩ, කඩවත, මාලබේ, කොළඹ ආදී ප්‍රදේශවලට උකස් කර තිබියදී පොලිසිය සොයාගෙන ඇත. තමන් මේ වනවිට රුපියල් ලක්ෂ 70ක පමණ මත්කුඩු පානය කර ඇති බවත් එම මුදලින් ලක්ෂ  දෙකක පමණ තමගේ බවත් අනෙක් මුදල් සොරකම් කළ බඩු විකුණා ලබාගත් ඒවාට බවත් සැකකරු අනාවරණය කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.  දඹුල්ල, මඩාටුගම ප්‍රදේශයේ පදිංචි සැකකරු මව සමග කඩවත ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන සිටින බවද පොලිසිය කියයි.
 -බිමල් ශ්‍යාමන් ජයසිංහ (ලංකාදීප)-