I-was-able-to-get-a-loan-from-India-without-any-conditions-Basil-who-came-to-Katunayake

ඉන්දියාවෙන් ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම වෙනුවෙන් කිසිම කොන්දේසියක් නැතැයි ඉන්දියානු සංචාරය නිමවා ලංකාවට පැමිණි මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා ගුවන් තොටුපළේදී මෙසේ කීවේය.

‘අපේ අසල්වාසි ඉන්දියාව කවදත් ලංකාව සමග ඉතාම හිතවත්ව කටයුතු කළා. නමුත් මෙවර ඊටත් වැඩිය මෝදි අගමැතිතුමා විශේෂයෙන්ම සඳහන් කළේ ශ‍්‍රී ලංකාවට අවශ්‍ය හැම සහයෝගයක්ම ආර්ථික වශයෙනුත් වෙනත් සමාජයීය වශයෙනුත් වෙනත් ලෝක සංවිධානවලදිත් සෘජුව අපට උදව් කරන බවයි.

 අප ආරම්භ කළ කාබනික වගාව පිළිබඳවත් පුනර්ජනනීය බලශක්තිය ගැනත් අපේ ජනාධිපතිතුමා දක්වන උනන්දුව ගැනත් එතුමා විශේෂයෙන්ම හදාරල තිබුණා.

ඔවුන්ටත් යම් හිඟයක් තියෙනවා කිව්වා නැනෝ පොහොර නිෂ්පාදනයේ. ඒත් ශ‍්‍රී ලංකාවේ ගොවි ජනතාවට අවශ්‍ය ප‍්‍රමාණය ලබාදීමට ඔවුන් එකඟ වුණා.

 ඒ නිසා මේ රටේ සමස්ත ගොවි ජනතාවටත් අනෙකුත් අයටත් අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමට ආහාර ලබා ගැනීමට ළඟ එන සිංහල හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් සියලූ අත්‍යවශ්‍ය දේවල් ලබාදීමට ඔවුන් අපට ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් දුන්නා. ඒක ඊයේ ඉඳලම ක‍්‍රියාත්මක වෙනවා. ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කටයුතු ඉතාම විනිවිද භාවයකින් වෙළෙඳ අමාත්‍යාංශය සිදු කිරීමට නියමිතයි. මේ හරහා ඉන්දියාවෙන් ගේන භාණ්ඩ කඩිනමින් මහජනතාවට සාධාරණ මිලකට ලබාදෙන ලෙස සියලූම ව්‍යාපාරික ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා ‘



කෙසේ වෙතත් ලැබී ඇති තොරතුරු අනුව පසුගිය මාස හතරක කාලය තුළ බැසිල්  රාජපක්ෂගේ නව දිල්ලි සංචාර දෙක අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව රාජ්‍ය මට්ටමින් සහ පුද්ගලික ඉන්දියානු ආයෝජකයින් සම්බන්ධ කර ගනිමින් ප්‍රධාන ගිවිසුම් පවා අත්සන් කර ඇත. ජනවාරි 6 දා, ඉන්දියානු තෙල් සංස්ථාව (IOC) අනුබද්ධ ලංකා IOC, ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) සහ ශ්‍රී ලංකා රජය නැගෙනහිර ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම් තුනකට අත්සන් තැබීය.

ත්‍රිකුණාමලයේ සාම්පූර් හි සූර්ය බලශක්ති බලාගාරයක් පිහිටුවීමට ජාතික තාප විදුලි සංස්ථාව (NTPC) මාර්තු 11 වන දින ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සමඟ ගිවිසුමක් අත්සන් කළේය.

එදිනම, Adani Group විසින් උතුරු ශ්‍රී ලංකාවේ ඩොලර් මිලියන 500 ක ඇස්තමේන්තුගත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දෙකක් පිහිටුවීම සඳහා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම ගිවිසුම දෙපාර්ශ්වය විසින්ම ප්‍රසිද්ධියට පත් කළේ නැත.