Investigations-on-a-village-abandoned-by-the-people-for-fear-of-sand-smugglers

වැලි ජාවාරම්කරුවන් විසින් කාලයක් තිස්සේ සිදු කරන ලද ගොඩවැලි ජාවාරම හේතුවෙන් විනාශයට පත්ව තිබෙන අම්බලන්තොට වලේවත්ත ගම්මානය සම්බන්ධව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පුළුල් විමර්ශනයක් අරඹා ඇත.


ඒ අනුව එම කාර්යාංශය විසින් සිවු දෙනකුන්ගෙන් යුතු ඉංජිනේරුවරුන් පිරිසක් එම විමර්ශන කටයුතු සඳහා එම ප්‍රදේශයට පිටත්කර යවා තිබේ.

එම විමර්ශනවලින් අනතුරුව එම ගම්මානය නැවත පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ සහිත වාර්තාවක් පරිසර ඇමැති මහින්ද අමරවීරට ලබාදීමට නියමිතය.

සාර්ථක ලෙස පොල් වගා කර තිබූ අම්බලන්තොට, වලේවත්ත ගම්මානයේ ඉඩම්වල ගොඩ වැලි කැණීම් හේතුවෙන් නිවාස මෙන්ම වගා කර තිබූ පොල්ගස් හා වෙනත් වටිනා ගස් පවා ගැලවී විනාශ වී ගොස් ඇත. තවදුරටත් එම ගමේ ජීවත්වීමට නොහැකි නිසා බොහෝ පවුල් ගම්මානය අත් හැර වෙනත් ප්‍රදේශවලට පදිංචියට ගොස් තිබේ. ගොඩවැලි කැණීම් හේතුවෙන් සිදුවන දැවැන්ත පාරිසරික හානිය වළක්වාලීමට මේ වනවිට ඒ සඳහා බලපත් නිකුත් කිරීමද තාවකාලිකව අත්හිටුවා ඇත.