Netball-ladies-fight-for-Singapore-tour

මෙම වසරේ සැප්තැම්බර් මස ආරම්භ වීමට නියමිත ආසියානු දැල්පන්දු ශුරතාව සඳහා යන ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩිකාවන්ට අමතරව එම සංචාරයට නිලධාරීන් (Officials) 09ක් මේ වනවිටත් සුදානමින් සිටින බව වාර්තා වේ.  මීට පෙර ආසියානු දැල්පන්දු ශුරතාව සඳහා යන සංචාරවලදී නිලධාරීන් ලෙස සහභාගි වී තිබුණේ උපරීම 04ක් හෝ 05ක් පමණි. කෙසේ වෙතත් මෙවර එය වෙනස් වී අනිවාර්යයෙන් යා යුතු නිලධාරින්ට අමතරව තවත් නිලධාරීන් 04ක්, 05ක් වැඩි වී තිබේ.මෙහිදී මෙම තරගාවලියට අනිවාර්යයෙන් යා යුතු නිලධාර්ණ ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස හයසින්ත් විජේසිංහ, වෛද්‍යවරයා (Team Physician) ලෙස වෛද්‍ය ලාල් ඒකනායක යන මහත්ම මහත්මීන් එක්ව තිබේ. මීට අමතරව කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස මෙතෙක් කිසිවෙකුත් පත් කර නොමැති අතර, කණ්ඩායමේ කළමනාකාර තනතුර බොහෝවිට ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපතිනී රංජනී ජයකොඩි මහත්මිය ලබාගනු ඇතැයි වාර්තා වේ.

එමෙන්ම සහාය කළමනාකාරිනිය ලෙස ක්‍රීඩා නිලධාරිනියක වන අනූෂා මයුරිනී සහභාගි වන බව වාර්තා වේ.


ඇය සතුව සහාය කළමනාකාරිනිය ලෙස පත් කළ ලිඛිත ලේඛනයක්ද පවතින බව නිල නොලත් ඒ ආරංචි මාර්ග පැවසීය. සංචාරය සදහා සහභාගි වන සහාය පුහුණුකාරිනිය (Assistant coach) ලෙස වත්මන් දැල්පන්දු සභාපතිනිය බලයට රැගෙන ඒමට බොහෝ වැඩ කොටසක් කළ බදුල්ලේ ක්‍රීඩා නිලධාරිනියක වන කුමාරී ගමගේ මහත්මිය නම්කර ඇතැයි වාර්ත වන අතර, සහාය පුහුණුකානිය පත් කිරීමේදී පවා කිසිදු සම්මුඛ පරීක්ෂණයක් හෝ මෙතෙක් පවත්වා නොමැති බව අනාවරණය වේ.එමෙන්ම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය වන හයසින්ත් විජේසිංහ මහත්මියට සහ කණ්ඩායමට උපදෙස් ලබාදීමට උපදේශක පුහුණුකාරිනියක් (Consultant Coach) පත් කර ඇතැයි වාර්තා වන අතර,

එම තනතුර ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු දැල්පන්දු භාර නිලධාරිනියක වන තමරා පරගොඩ ලියනගේ මහත්මියට ලබාදී ඇතැයි වාර්තා වේ.කෙසේ වෙතත් එම පත් කිරීම සඳහා කිසිදු සම්මුඛ පරීක්ෂණයක් හෝ මෙතෙක් පවත්වා නොමැති බව අනාවරණය වේ. මීට අමතරව ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ ලේකම් කුමුදුනී ගෝමස්, වෙළෙඳ සේවා දැල්පන්දු සංගමයේ ජයන්ති සෝමසේකාරම් සහ වත්මන් දැල්පන්දු තේරීම් කමිටුවේ සභාපති ධුරයට යෝජනා වී ඇති දමයන්ති ජයතිලක යන මහත්මීන්ද මෙම සංචාරය සඳහා නිලධාරීන් ලෙස සහභාගි වන බව නිල නොලත් ආරංචි මාර්ග පැවසීය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ ලේකම් කුමුදුනී ගෝමස් මහත්මියගෙන් විමසීමක් කළ අතර, ඇය පවසා සිටියේ අදාළ සංචාරය සඳහා නිලධාරින් නම් කිරීමට තව කල් තිබෙන බවයි. විධායක කමිටුව තුළ තවමත් ඒ සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා කර නොමැති බවද ඇය පවසා සිටියාය.


"අපි තවම නිලධාරීන් පත් කරලා නැහැ. තාම අපි තේරීම් කමිටුවට අදාළ නම් පමණයි යවලා තියෙන්නේ. ඒ නම් අපිට තාම ලැබිලා නැහැ. ඔබ ඔය සඳහන් කරන්න නම් කිසිවක් අප අනුමත කරලා නැහැ. නිලධාර්න් 09ක් යනවා කියන කතාව අසත්‍යයි. අපි ආසියානු තරගාවලියට යන නිලධාරින් කවුද කියලා තවම සාකච්ඡාවක්වත් කරලා නැහැ”යනුවෙන් දැල්පන්දු ලේකම්වර්ග වැඩිදුරටත් අදහස් පළ කළාය.මේ අතර මීළඟට පැනනගින ගැටලුව වනුයේ අදාළ තරගාවලියට සහභාගි වන නිලධාරීන් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මුදල් ලබාදෙන්නේ” යන්නයි. මීට පෙර පැවැති ආසියානු තරගාවලි සඳහා නිලධාරීන් වශයෙන් සහභාගි වන්නන්ට ඇමෙරිකානු ඩොලර් 1200ට වැඩි මුදලක් දීමනාවක් ලෙස හිමිවූ අතර, ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව රටේ ඩොලර් හිඟයක් ඇති මොහොතක ඒ ආකාරයේ දීමනාවක් මෙවරත් ලබාදෙන්නේද යන්න විමසිලිමත් විය යුතුය.


(පැතුම් ශ්‍රී විජේරත්න-Ada )