The-US-is-telling-China-to-wait-and-see-if-it-helps-Putin

යුක්රේන අර්බුදයේ දී යුද උපාංග ලබා දෙමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සහාය දැක්වූවොත්, ඒ සම්බන්ධයෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් චීන ජනාධිපති ෂී ජින්පින්ට තර්ජනය කර තිබේ. 

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර මේ වනවිට දින 20 ක් ගත වී තිබේ. රුසියාවත් චීනයත් අතර පවතින්නේ සමීප සම්බන්ධයකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවේ චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රතිඥා දී ඇත්තේ ද චීනය කොන්දේසි විරහිතව රුසියාවට සහාය දක්වන බවය.  ඇමෙරිකා බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත්තේ රුසියාව, යුක්රේනයට එරෙහි යුද්ධයේදී, චීනයෙන් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ඉල්ලා ඇති බවය. කෙසේ නමුත් චීනය මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ රුසියාව කිසිම අවස්ථාවක තමගෙන් යුද උපාංග ඉල්ලීමක් කර නොමැති බවය.

රුසියන් යුරේන අර්බුදය සම්බන්ධයෙන් සහ එය සාමකාමීව විසඳා ගැනීම කෙසේ විය යුතු ද සම්බන්ධයෙන් ඇමෙරිකා රජයේ සහ චීන රජයේ හමුදා සහ ආරක්ෂක ප්‍රධානීන් අතරේ ද විශේෂ සාකච්ඡාවක් පැය 7 ක් තිස්සේ පැවැත්වුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියානු නියෝජිතයන් සහ යුක්රේන නියෝජිතයන් අතරේ ද සාකච්ඡා පැවැත්වෙයි. රුසියාව යුක්රේනයේ නගර  ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කරන්නේ එසේ සාකච්ඡා පැවැත්වෙද්දීය. ඊයේ (15) රුසියන් රජයේ නියෝජිතයන් සහ යුක්රේන රජයේ නියෝජිතයන් අතරේ සිවුවැනි වටයේ සාම සාකච්ඡා රහසිගත  ස්ථානයක පැවැත්විණි. රුසියන් හමුදා යුක්රේනයේ ප්‍රධාන නගර කීපයක් මුළුමනින්ම අල්ලා ගෙන බලය තහවුරු කරගෙන සිටින බව පැවැසෙයි.

යුක්රේනයේ කීව් අගනුවර ද රුසියන් හමුදා වට කරමින් පහර දෙන අතර, එම ප්‍රහාර දිනෙන් දින උත්සන්න වන බවත් පෙනෙයි. මේ අතර ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් යුක්රේනයේ ජන සංහාර චෝදනා සම්බන්ධ නඩුවේ තීන්දුව අද (16) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද පැවැසෙයි. ජන සංහාර අපරාධ වැළක්වීමේ සහ දඬුවම් දීමේ සම්මුතියට ප්‍රකාරව, (යුක්රේනයට එදිරිව රුසියානු සමූහාණ්ඩුව) ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චෝදනා ගොනු කර තිබුණි. අද (16) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30 ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සභාපති විනිසුරු ජෝන් ඊ ඩොනෝග් විසින් නෙදර්ලන්තයේ හේග් නුවර "සාම මාළිගය” ලෙස හැදින්වෙන ජාත්‍යන්තර අපරාධ අධිකරණ පරිශ්‍රයේදී තීන්දුව ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තතා කර තිබේ.



මීට අමතරව යුක්රේන රුසියන් අර්බුදය හමුවේ, රුසියාව අධික වට්ටමක් ලබා දෙමින් බොරතෙල් සහ අනිකුත් භාණ්ඩ ඉන්දියාවට විකිණීමට සුදානම්ව සිටී. යුරෝපා සංගමය සහ අනිකුත් රටවල් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් මෙසේ අධික වට්ටමක් ලබාදීමට රුසියාව තීරණය කර ඇති අතර ඉන්දියාව සමග ගණුදෙනු ඉන්දියානු රුපියල් සහ රුසියන් රූබල් වලන් සිදුවීමට නියමිත බව පැවැසෙයි. රුසියාව අපිට බොරතෙල් මිලදී ගැනීමේදී ලොකු වට්ටමක් දෙන්න කැමති, අපිත් සතුටුයි රුසියාවෙන් බොරල්තෙල් මිලදී ගන්න රක්ෂණ සහ  ගබඩා ගැටළු කිහිපයක් තියෙනවා ඒ ටික විසඳ ගත්ත ගමන් අපි රුසියාවෙන් බොරතෙල් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා" යැයි ඉන්දියානු රජයේ නියෝජිතයෙක් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් පවසා තිබේ.-