The-boyfriend-who-killed-his-girlfriend-outside-the-family-because-he-said-no-to-marriage-after-12-years

මහනුවර කටුගස්තොට  මැණික්කුඹුරවත්ත ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එකම පවුලේ පියකු හා දියණියක සහ දියණියගේ පෙම්වතා දැවී අළුවී නිවසේ සිටි මව පමණක් තුවාල සහිතව දිවිබේරාගත් බිහිසුණු සිද්ධියක් ඊයේ (24) අළුයම වාර්තා විය.
දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙය මරාගෙන මැරුණ සිදුවීමක් වන අතර ඊට මුල්වී ඇත්තේ 12 වසරක පෙම් සබඳතාවයක් මගහැරිය පෙම්වතිය කෙරෙහි උරණවූ පෙම්වතා බව කියැවේ.
 30 හැවිරිදි ඊෂ්වරදේවන් චන්‍ද්‍රවාදිනී සහ ඇගේ පෙම්වතා පාසල් සමයේ සිට පෙම්වතුන්ව සිටි අය වන අතර විවාහ වන බවට පොරොන්දු ලබාදෙමින් ඔවුන් දෙමාපිය ආශිර්වාදයද සහිතව ඇසුර පවත්වාගෙන ගොස් ඇත.තරුණයා මහනුවර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලක සේවය කරමින් සිටි අතර මීට ටික කාලයකට ඉහත ඔහු සොරකම් සිද්ධියක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතවන්නට සිදුව ඇත.

බන්ධනාගාරගතවූ සිද්ධියෙන් පසු මෙම පෙම් සබඳතාව දෙදරාගොස් ඇත. පෙම්වතිය පවසා ඇත්තේ ‘සොරෙකු‘ සමග කසාද බඳින්නට අකමැති බවයි.
මේ හේතුවෙන් පෙම්වතාට පෙම්වතියගේ නිවස තහනම් කලාපයක් වූ අතර තරුනියගේ මව හා පියාද පෙම්වතාට විරුද්ධව චෝදනා නගමින් ඔහු නැවත මිතුරු වන්නට ආ අවස්ථාවන්හිදී හරහට සිට ඇත.
දරිද්‍රතාවයෙන් පෙළුන නිවැසියන් වාසය කළේ ලෑලිවලින් නිමවා ටකරන් සෙවිලි කර තිබූ නිවසකය. තරුණියගේ පියා 70 හැවිරිදි මුත්තුතම්බි ඊෂ්වරදේවන්  බුලත්, පුවක් වෙළෙඳාමේ නිරතවී ජීවිකාව සරිකරගත් අයෙකි.

සම්බන්ධතාව අතහැර දැමීම නිසා පෙම්වතා දැඩිලෙස කෝපයට පත්ව සිටි අතර ඔහු සිය පෙම්වතියගේ නිවසට නිතර නිතර පැමිණ ආරවුල් ඇතිකර ගෙන තිබිණි.
සිද්ධිය වූ දින උදෑසන පෙම්වතා පෙට‍්‍රල් ගැලූමක් ද රැගෙන මෙම නිවසට පැමිණ තිබේ. චන්‍ද්‍රාවාදිනී සමඟ විවාහ ගිවිස ගැනීමට ඉඩ ලබා නොදුනහොත් සියලූදෙනාම මරා දමන බවට ඔහු තර්ජනය කර තිබේ.
එහිදී චන්‍ද්‍රාවාදිනීගේ පියා සහ මව ද මෙම ආරවුලට පැටලී ඇති අතර පෙම්වතා නිවසේ ඉදිරිපස දොර වසාදමා පෙට‍්‍රල් වත්කර ඊට ගිනි තබා ඇත.
ඒ වන විට නිවසේ ගෑස් කාන්දුවක් ද සිදු වී ඇති අතර ක්‍ෂණයකින් ගින්න පැතිරී ගොස් තිබේ.


මෙම ගින්න හටගැනීමත් සමඟම වහා ක‍්‍රියාත්මක වූ අසල්වාසීන් ගින්න නිවා දැමීමට උත්සාහ කළ ද එය සාර්ථක වී නැත. ගිනි ගනිමින් තිබූ නිවසේ සිටි චන්‍ද්‍රාවාදිනීගේ මව දැඩි පරිශ‍්‍රමයක් දරා බේරාගැනීමට අසල්වාසීන් කටයුතු කර තිබිණි.
ඒ වනවිට ඇය දැඩි පිළිස්සුම් තුවාල සහිතව සිට ඇති අතර මහනුවර රෝහලට යැවීමට කටයුතු කර තිබිණි.
 මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  තරුණියගේ මව මේ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබාදී තිබූ අතර එයින් සිද්ධිය අනාවරණය විය.
දොළොස් වසරක් පුරා පැවැති ප්‍රේම සබඳතාවය අතහැර දැමීම නිසා කෝපයට පත් වූ තරුණයා පිරිස මරාගෙන මැරෙන්නට උත්සාහ ගත් බව පවසා තිබේ.
ගින්න හේතුවෙන් ලෑලිගෙදර මුළුමණින් අළුවී ගොස් තිබූ අතර තිදෙනාගේ සිරුරු දැවී ගොස් තිබූ ස්ථානයට නුදුරින් කුඩා යකඩ සේප්පුවක් දක්නට තිබී ඇති අතර ඒ තුළ රුපියල් ලක්ෂ 50කට  දක්නට ලැබුණු බව පොලිස් නිලධාරියෙක් පැවසීය.  
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුවේ.