රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) සහාය ලබාගැනීමට රජය නිල වශයෙන් තීරණය කර තිබේ.
මෙලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂට අවස්ථාව ලබාදීමට පෙරේදා (14 වැනිදා) රැස්වූ ඇමැති මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව කැබිනට් සම ප්‍රකාශක රමේෂ් පතිරණ ඊයේ (15වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
රටේ පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ තක්සේරුව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ අදාළ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා එම අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ චැන්ග් යොන්ග් යී (Changyong Rhee) මේ වන විට කොළඹට පැමිණ සිටී. මේ අතර මෙම මූලික සාකච්ඡාවලින් අනතුරුව අප්‍රේල් මස දෙවැනි සතියේ දී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනට ශ්‍රී ලංකාව සම්බන්ධවන ආකාරය පිළිබඳව නිල වශයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතය.
එහිදී මුදල් ඇමැතිවරයා මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග අප්‍රේල් 11වැනිදා සාකච්ඡා ආරම්භ කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි මුදල් අමාත්‍යංශ වාර්තා සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිප දෙනෙක් ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය චන්ග්යොන්ග් රී (Changyong Rhee), නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය ඈන්-මෙරී ගල්ඩ්-වුල්ෆ් (Anne-Marie Gulde-Wolf) සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිඩානුසෙට්යාවන් (Tubagus Feridhanusetyawan) යන මහත්ම මහත්මීහු මේ අතර වෙති.
මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
0 Comments