වරකාපොළ, අඹේපුස්ස ප්‍රදේශයේ නිවසක හා ඉඩමක අයිතිය උදෙසා අධිකරණයේ පවරා ඇති නඩුවකට අධිකරණය විසින් ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට ගිය පොලිස් නිලධාරින් පිරිසකට නිවසේ රැදී සිටි පිරිස පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා පෙරේදා (27)දා රෝහල්ගත කළ බව වරකාපොළ පොලීසිය පවසයි.
මෙලෙස පහරකෑමට ලක්ව රෝහල්ගතකර ඇත්තේ වරකාපොළ පොලීසියට අනුයුක්තව සේවය කරන උපපොලිස් පරික්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරයකි.
අම්මා සහ පිරිමි දරුවන් දෙදෙනකු මෙම ඉඩමේ නිවෙස් දෙකක ජීවත්ව සිටි අතර ඉන් බාල සහෝදරයා විවාහයක් කරගැනීමෙන් අනතුරුව ඔහුට අයත් නිවස සහ ඉඩම විකුණා වෙනත් ප්‍රදේශයක පදිංචි ගොස් ඇත. අනක් නිවසේ තනිවූ මව සහ අවිවාහක වැඩිමහල් සහෝදරයා අඹේපුස්ස ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිටියදී මව මරණයට පත්වීමත් සමගම වැඩිමහල් සහෝදරයාද කෝවිඩ් 19 වෛරසය වැලදීම හේතුවෙන් මියගොස් ඇති බවත්, පසුව සිය මව සහ සහෝදරයා මියගිය බව දැනගත් බාල සහෝදරයා සහ ඔහුගේ බිරිද දරු දදෙදෙනාත් සමග නැවත අඹේපුස්ස ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට පැමිණ ඇති අතර,
ඒ වනවිට සිය වැඩිමහල් සහෝදරයා ඔහු සහ මව පදිංචිව සිටි නිවස සහ ඉඩම වරකාපොළ මාහේන ප්‍රදේශයේ විහාරයකට නීත්‍යනුකූලව පවරා ඇති බවත් පරික්ෂණවලදී අනාවරණය විය.
පසුව ඔවුන් එම නිවසට පැමිණි බව දැනගත් හා විහාරාධිපති හිමියන් වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් දැමූ අතර එම නඩුවේදී විහාරාධිපති හිමියන්ට අධිකරණ තීන්දුවකින් ඉඩමේ සහ නිවසේ අයිතිය හිමිවිය.එහි අයිතිය ලබාදීම සඳහා වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නිලධාරින් පිරිසක් හා වරකාපොල පොලිස් නිලධාරින් පිරිසක් ඔවුන් නිවසින් ඉවත් කිරීමට යාමේදී නිවසේ සිටි කාන්තාව සහ සහ ඇයගේ දරු දෙදෙනා පොලිස් නිලධාරින්ට පහරදී තිබෙන බවද හෙළිවී තිබේ. සිද්ධියෙන් පසු එම කාන්තාව සහ 18 හා 16 යන වයස්වල පසුවන ඇයගේ දරුවන් දෙදෙනාද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
0 Comments