දින තුනක සිට ගෙදර කෑමට දෙයක් තිබුණේ නැහැ. දරුවන්ට කෑමට දෙයක් ගන්න කීයක් හරි සොයාගෙන එන්නම් කියලා සැමියා ගියා. එයා ගෙදර ආවේ නැති නිසා මම ගෙදර තිබුණු පුටු දෙකක් විකුණලා දරුවන්ට කන්න දෙයක් හදලා දුන්නා යැයි වැලිපැන්න ප්‍රදේශයේ
ගෙල වැලලාගෙන මියගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වැලිපැන්න හදිසි මරණ පරික්ෂක නිහාල් ජයනෙත්ති මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් පැවැසුවාය. වැලිපැන්න හොලින්බෝන් ජනපදයේ පදිංචිව සිටි නාගරාජා රන්ජන් (37) නමැති සිවුදරු පියකු මෙසේ මියගොස් ඇති අතර,ඔහුගේ හදිසි මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වන මාඩසාමි මංජුලා (30) නමැත්තිය මරණ පරික්ෂකවරයා ඉදිරියේ සාක්ෂි දෙමින් මෙසේද සඳහන් කළාය.
මියගොස් සිටින්නේ මගේ සැමියායි. අප විවාහ වෙලා අවුරුදු 14 ක් වෙනවා. අපට අවුරුදු 12 ට අඩු දරුවන් හතරදෙනෙක් ඉන්නවා. පුතාලා තිදෙනෙක් සහ එක දියණියක් සිටිනවා. අපි තෙබුවන සහ නෑබඩ ප්‍රදේශවල සිට මීට මාස 9 කට පෙර සැමියාට රැකියාවක් සොයාගෙන වැලිපැන්නට ආවා. මගේ සැමියාට ස්ථිර රැකියාවක් නැහැ. ඔහු කුලී වැඩක් කරලා ගන්න මුදලිනුයි අපි ජීවත්වුණේ. අපිට ඉන්න ස්ථිර ගෙයක් නැහැ. රුපියල් 3500 කුලියට ගත්ත කාමරයකයි අපි සිටියේ. අපිට ස්ථිර පදිංචියක් නැති නිසා දරුවන් පාසලකට දාන්න බැරිවුණා. මගේ සැමියා වැලිපැන්න ප්‍රදේශයේ ඉඩමක් එළිකරන්න බාරගෙන තිබුණා. ඔහු ඒ සඳහා තවත් අයෙක් සම්බන්ධ කර ගත්තා. එම පුද්ගලයා සැමියාගෙන් වැඩිපුර මුදල් ලබාගෙන තිබුණා. ඉඩම හිමි අය නියමිත මුදල නොදුන් බව සැමියා කිව්වා. පසුගිය දින කීපයේම සැමියාට වැඩක් ලැබුණේ නැහැ. දින තුනක සිට නිවසේ කෑමට කිසිවක් තිබුණේ නැහැ. අපිට කවුරුවත් ණයට මුදලක් හෝ බඩු දුන්නේ නැහැ.
දරුවන්ට කන්න දෙන්න බැරිවීම නිසා සැමියා කනස්සල්ලෙන් සිටියේ.
ඔහු පසුගිය සිකුරාදා කීයක් හරි හොයාගෙන එන්නම් කියලා නිවසින් පිටවී ගියා. එයා එදින රාත්‍රියේ පැමිණියේ නැහැ. පසුදින දරුවන් තවත් බඩගින්නේ තියන්න බැරි නිසා මම නිවසේ තිබුණු පුටු දෙකක් විකුණා දරුවන්ට කන්න ගෙනත් දුන්නා. සැමියාට දුරකථන ඇමතුම් ගත්තත් ප්‍රතිචාර දැක්වුවේ නැහැ. පසුව සැමියා ඥාතියකුගේ නිවසක් අසල ගෙල වැලලාගෙන මියගොස් ඇති බව දැනගන්න ලැබුණා. අසරණ අපට කාගෙන්වත් පිළිසරණක් තිබුණේ නැහැ. දරුවන්ට කන්න දෙන්න බැරිවීම නිසා සැමියා මෙසේ සියදිවි හානිකරගන්න ඇතැයි සිතනවා. දැන් මම මගේ දරුවන් හතරදෙනා සමග තනිවුණා. දරුවන් කුඩා නිසා මට රැකියාවකට යන්නත් බැහැ. මමත් දරුවනුත් තවත් අසරණ වුණා යැයිද ඇය කීවාය. සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව, මියගිය අයගේ දේහය අධිකරණ වෛද්‍ය පරික්ෂණය සඳහා නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකිරීමට වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා විසින් නියෝග කරනු ලැබූ අතර, වැලිපැන්න පොලිසියේ පොලිස් සැරයන් ජයරත්න මහතා සාක්ෂි මෙහෙයවීය.
බන්දු තඹවිට-
0 Comments