berty-gunathilake-passed-away

ප්‍රවීණ ප්‍රහසන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අද (6) අභවප්‍රාප්ත වූයේය. මියයන විට 97 හැවිරිදි වියේ පසුවිය. කලක් තිස්සේ දියවැඩියාව හා ආශ්‍රිත රෝග වලින් පීඩා විඳිමින් සිටි ඒ මහතා කහවත්ත රෝහලේදී අද (6) ජීවිතයෙන් සමුගත්තේය.
ශ්‍රී ලංකාවේ දශක කිහිපයක්ගුවන් විදුලිය හා රූපවාහිනීය ඔස්සෙ ප්‍රකට ‘විනෝද සමය‘ වැඩසටහනේ ප්‍රධාන චරිත 3 න් එකක් රඟ දැක්වූයේ බර්ටිය. සැමුවෙල් හා ඇනස්ලි අනෙක් දෙන්නාද දැන් ජීවතුන් අතර නැත.

බර්ටි 1924 අගෝස්තු 2 වන දින මහනුවර අම්පිටියේදී උපත ලැබීය. ඔහු අම්පිටිය ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා මහනුවර සංඝරාජ පිරිවෙනෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත. ඊට පසු  කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ සහකාර ගුරුවරයෙකු ලෙස සේවය කළත් රැකියාව එපාවූ නිසා පොත් කඩයක් දැමූ බව ඔහු කියා තිබේ.


 සිංහල බෞද්ධයා පුවත්පතේ සෝදුපත් කියවන්නෙක් ලෙස පසුව සම්බන්ධවූ ඔහු 1953 මහජන පුවත්පත ආරම්භ කරන විට බෙදාහැරීමේ අංශයේ සිටියේය.[චන්ද්‍රරත්න මානවසිංහ සහ මීමන ප්‍රේමතිලකගේ සහාය ඇතිව ලේක්හවුස් ප්‍රකාශකයන්ට සම්බන්ධ විය. ඔහු එහි කනිෂ්ඨ සේවකයෙකු ලෙස වසර දොළහක් සේවය කළේය. ඒ කාලයේ ඔහු ලේක්හවුස් වෘත්තීය සමිතිය ගෙන ගිය අරගලවලට සම්බන්ධ වු නිසා ඔහුට රැකියාව අහිමි විය.
ඔහු විවාහ වී සිටියේ සෝමා ගුණතිලක නමැති ගුරුවරිය සමඟය. ඔහුගේ බිරිඳ 1993 දී මිය ගියාය.
මෙම යුවළට භාරත සහ හර්ෂ නමැති පුතුන් දෙදෙනෙක් සහ ජීවනී සහ කුමුදුනී නමින් දියණියන් දෙදෙනෙක් සිටී. භාරත රූපවාහිනී කාර්මික ශිල්පියෙකි. හර්ෂ ව්‍යාපාරිකයෙකි. කුමුදුනීද රූපවාහිනී සංස්ථාවේ සේවය කරයි. ජීවනී දියණිය බර්ටිය රැක බලාගනිමින් ඔහුගේ නිවසේ සිටි අතර ඇය විවාහවී සිටියේ නැත.
බර්ටි ගුණතිලක 1947 දී ළමා පිටිය වැඩසටහනෙන් ලංකා ගුවන් විදුලියට සම්බන්ධ විය.

ඉන්පසු ඔහු ජෝසප් සෙනෙවිරත්න, වින්සන්ට් වීරසේකර, හැරියට් සුරවීර, පිටිපන සිල්වා සහ සිසිර කුමාර මානික්කාරච්චි සමඟින් 1948 විනෝද සමය ගුවන් විදුලි නාට්‍යයට සම්බන්ධ විය.

1954 දී ගුණතිලක සිය සමීප මිතුරන් වන ඇනස්ලි ඩයස් සහ සැමුවෙල් රොද්‍රිගු සමඟ එක්ව රේඩියෝ සිලෝන් සඳහා Vihilu Thahalu විකට වැඩසටහන ඉදිරිපත් කළේය. එය අතිශයින් ජනප්‍රිය වූ අතර ඔවුන් ව්‍යවහාරයෙන් හඳුන්වනු ලැබුවේ රජ තුන් කට්ටුව ලෙසිනි.පසු කාලීනව ගැමුණු විජේසූරිය, ජෝසප් සෙනෙවිරත්න, ඇල්ෆ්‍රඩ් පෙරේරා සහ මර්සි එදිරිසිංහ වැනි තවත් බොහෝ චරිත වැඩසටහනට ඇතුළත් විය.

1983 දී ශ්‍රී ලංකාවේ රූපවාහිනී වැඩසටහන් සඳහාද ඔවුන් කැඳවූ අතර බර්ටි, ඇනස්ලි සහ සැමුවෙල් රූපවාහිනියේ ආරම්භක වැඩසටහන නන්දන වින්දනයට ඇතුළත් කර ඇත.1960 සිට 1990 දක්වා, ඔවුහු රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ සෑම විකට වැඩසටහනකම පාහේ පෙනී සිටියහ. විනෝද සමයේ කථාංග බොහොමයක්ද ඔහු ලියා ඇත.
බර්ටි පෙම් මල් මාලා, පාලම යට, දෙවියනි සත්‍ය සුරකින්න, මන මෝහිනී සහ සෝමි බෝයිස් වැනි ජනප්‍රිය වාණිජ චිත්‍රපටවල සහය ප්‍රහසන චරිත රැසක රඟපෑවේය.
2013,2014 හා2021 ඔහු සම්මාන වලටද පාත්‍ර විය.


බර්ටි ගුණතිලක මහතාට පසුගිය කාලයේ සෙනෙස්ටාර් පදනම හා ටවර්හෝල් පදනම ආධාර කර තිබූ අතර ඔහුගේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් මතුවූ ගැටලු ගැන ඇතැම් පුවත්පත් වාර්තාද පළවිය.
වයස 97 වන තෙක් ඔහු රැක බලාගන්නට ජීවනී දියණිය මහත් කැපකිරීමක් කර තිබුණි. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.