ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසට යාබදව පිහිටි ඇඹුල්දෙණිය මංසන්ධියේ ප්ලාස්ටික් පෙට්ටියක බහා තිබූ පිස්තෝල දැකගැනීමට ලැබීමෙන් කලබලයට පත් අසල්වාසීන් ඒ ගැන පොලිසියට දන්වා ඇත.
ඊයේ (13 වැනිදා) අලුයම මිරිහාන පොලිසියට ලද තොරතුර මත විශේෂ කණ්ඩායමක් ඒ වෙත ගිය අතර කිසිවෙකුට අයිති නැති ප්ලාස්ටික් පෙට්ටිය පාරේ තිබෙන අයුරු ඔවුන් සොයාගෙන තිබේ. විනිවිද පෙනෙන එය තුළ පිස්තෝල දෙකක් ඇති බවට නිරීක්ෂණය වූ අතර පොලිසිය එයව විවර කර පරීක්ෂා කර තිබේ.
පිස්තෝල වැඩිදුර පරීක්ෂාවේදී හඳුනාගෙන ඇත්තේ ඒවා ප්ලාස්ටික් වලින් තැනූ ඒවා බවයි. මේවා ‘සෙල්ලම් පිස්තෝල‘ වූ බැවින් වටකර සිටි ජනතාවට පොලිසිය දන්වා ඇත්තේ කලබල වීමට කාරණාවක් නැති බවයි.
කෙසේ වෙතත් මේ ආකාරයට ප්‍රසිද්ධ ස්ථානයක ජනතාව බියට පත්කරවනන ආකාරයට සෙල්ලම් පිස්තෝල තබායාම කඩාකප්පල් ක්‍රියාවක්ද යන්න සොයා බැලීමට පොලිසිය උනන්දුවූ අතර විශේෂයෙන්ම රටේ ප්‍රධාන පුරවැසියා වාසය කරන නගරයට ආසන්න තැනක මෙවැනි ක්‍රියාවක් සිදු කිරීම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගැටලු මතුකරන්නක් බැවින් ඒ ගැන සොයා බලා ඇත.
සීසීටීවී පරීක්ෂාවේදී අනාවරණයවී ඇත්තේ පෙරේදා (12 වැනිදා) රාත්‍රියේ එම ස්ථානයේ ටෙලි නාට්‍යයක් රූපගත කර ඇති බවත් ඒ සඳහා ගෙනා සෙල්ලම් පිස්තෝල එම පිරිසට අමතක වී මෙම ස්ථානයේ දමා ගොස් ඇති බවත්ය.
අමතක වූ පිස්තෝල දෙක තමන්ගේ බව කියන්නට ටෙලි නාට්‍ය කණ්ඩායමේ කෙනෙකු ඉදිරිපත්වී ඇත.
ඒ අනුව එම ‘පිස්තෝල නාට්‍යය‘ද හමාර විය.
0 Comments