දින දෙක තුනකට පෙර නිවසේ දී මිය ගිය මවගේ දේහය රෙදි කැබැල්ලකින් සම්පුර්ණයෙන්ම වසා කුප්පි ලාම්පුවක් ද දල්වා නිවසේ දොරට දොරගුළු ද දමා මිනී පෙට්ටියක් ගැනීමට මුදල් සොයා ගොස් ඇතැයි කියන කාන්තාවක පිළිබඳ ඊයේ (14) දේවාලේගම පොලිසියෙන් වාර්තා වෙයි.  මියගොස් ඇත්තේ දේවාලේගම බෙලිගල හන්නාගොඩ පුවක්ගහමඩ පදිංචිව සිටි කහගල්ලාගේ රේජෝනා නමැති 76 හැවිරිදි තිදරු මවක බව පොලිසිය පවසයි.  මියගොස් ඇති බවට පිරිමි දරුවන් දෙදෙනකු හා දියණියක සිටින බවත් වැඩිමහල් පිරිමි දරුවන් දෙදෙනා අල්ලපු ගමක පදිංචිව සිටින බවත් පොලිසිය කීය. බාල දියණිය අවිවාහකව මව සමග කුඩා නිවසේ පදිංචිව සිට ඇති අතර ඇය කුලී වැඩ කර උපයා ගත් මුදලින් මව රැක බලාගන ඇත.

ඉකුත් 12 වැනිදා පාන්දර මව මිය යැමෙන් පසු මවගේ සිරුර රෙදි කැබැල්ලකින් වසා ලාම්පුවක් දේහය අසල දල්වා ඇති බවත් ඇය උදෑසන කෑගසා ඇති බවත් පොලිසිය පවසයි. පසුව මවගේ දේහය තැන්පත් කිරීමට පෙට්ටියක් ගැනීමට මුදල් සොයා නිවෙසින් පිටව ගොස් ඇති අතර පෙරේදා (13) රාත්‍රි

වැඩිමහල්  සහෝදරයාට මව මියගොස් ඇති බව ආරංචි වී පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිවරයාටත් පොලිසියටත් දන්වා ඇති බව පොලිසිය කියයි.  කෑගල්ල නාගරික රෝහලේ හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය හා දේවාලේගම පොලිසියේ පොලිස් සැරයන් සුගත් සෙනෙවිරත්න (48567) මහතා  ඊයේ (14) නිවසට ගොස් දේහය සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු සිදුකර වැඩිදුර පරීක්ෂණ සඳහා දේහය කෑගල්ල මහ රෝහලට රැගෙන ගොස් තිබුණි. එම අවස්ථාවේ දී දේහය මැස්සන් වසමින් හා දුගඳ හමමින් තිබූ බවත් පොලිසිය පවසයි.

දියණිය ඊයේ (14) මවගේ මරණ සහතිකය ලබා ගැනීමට ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇති බවත් පසුව එතැනින් යට්ටෝගොඩ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සව ශාලාවකට ගොස් දේහය තැන්පත් කිරීමට පෙට්ටියක් බලා ඇති බවත් පොලිසිය පවසයි. යට්ටෝගොඩ ප්‍රදේශයේ අවමංගල උත්සව ශාලාවේ

හිමිකරු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිමහල් සහෝදරයාට දුරකතනයෙන් දවා ඇගේ සහෝදරිය අවමංගල්‍ය ශාලාවේ සිටින බවයි. පසුව වැඩිමහල් සහෝදරයා අවමංගල්‍ය ශාලාවට ගොස් බාල සහෝදරීය සමග කෑගල්ල මහ රෝහලට පැමිණ හදිසි මරණ පරීක්ෂණයට පෙනී සිට ඇති බවත් පොලිසිය පවසයි. පුතා මවගේ හදිසි මරණ පරීක්ෂණයට ප්‍රකාශයක් ලබා දුන්න ද දියණිය මරණ පරීක්ෂකවරයාට ප්‍රකාශයක් ලබාදීම  ප්‍රතික්ෂේප කර හඩමින් සිටින අයුරු දැකගත හැකි විය.

කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩබ්ලිව්.ඩී. සුසන්ත ජයවීර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර සිරුර පුරා හටගත් තුවාලවලට විෂ බිජයක් ඇතුළු වීමෙන් සිදු වු ස්වභාවික මරණයක් ඛවට කෑගල්ල නාගරික රෝහලේ හදිසි මරණ පරික්ෂක  රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය නිගමනය කළාය.