Vegetable-shortage-due-to-diesel-crisis

පොහොය දිනය හේතුවෙන් ඊයේ (17 වැනිදා) ආර්ථික මධ්‍යස්ථාන රැසක් වසා තිබීම හා ඩීසල් අර්බුදය හේතුවෙන් සති අන්තයේ වෙළෙඳපොලේ එළවළු හිඟයක් ඇතිවීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇත.


මැදින් පොහොය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන රැසක් ඊයේ (17 වැනිදා) දිනයේදී වසා තිබූ අතර එළවළු ප්‍රවාහනය කරන ලොරි රැසක් ඊයේ ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල නවතා තිබෙන අයුරු දක්නට ලැබුණි.



ආර්ථික මධ්‍යස්ථාන අතරින් කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය පමණක් ඊයේ විවෘතව පැවතුණි.

ඩීසල් අර්බුදය ඉහළ යෑම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට පිට පළාත්වලින් පැමිණෙන ලොරි පෙරේදා (16 වැනිදා) විශාල ලෙස අඩුවීම නිසා එම මධ්‍යස්ථානවල වෙළෙඳාම් කටයුතු සිදුවූයේ ඉතා මන්දගාමීවය.

ඉන්ධන අර්බුදය හමුවේ ලොරි අතරමඟ නැවතීමත්, ගෑස් හිඟය නිසා හෝටල් රැසක් වසා දැමීමත් හේතුවෙන් එළවළු සඳහා තිබෙන ඉල්ලුම පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු කියා සිටිති.

පෙරේදා අලුයම හතරේ සිට තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදාම් කටයුතු සඳහා උඩරට හා පහතරට එළවළු රැගෙන ගොවීන් පැමිණියද ගැනුම්කරුවන් නොපැමිණීම නිසා ගොවීන්ට පැය ගණන් රස්තියාදුවන්නට සිදුවිය.



කැරට් කිලෝවක මිල රුපියල් 180 ක් දක්වාද, ගෝවා කිලෝවක් රුපියල් 60 ක් දක්වාද, ලීක්ස් කිලෝවක් රුපියල් 80 ක් දක්වාද, අර්තාපල් කිලෝවක් (නුවරඑළිය) රුපියල් 150 ක් දක්වාද, කොළ බීට් කිලෝවක් රුපියල් 110 ක් දක්වාද, කට් බීට් කිලෝවක් රුපියල් 140 ක් දක්වාද අඩුවී තිබුණි.

අවශ්‍ය තරම් එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන නමුත්, ඉල්ලුම විශාල ලෙස අඩුවී ඇතැයි එහි වෙළෙන්දෝ කියා සිටිති.