Twenty-two-thousand-kilos-of-rattan-rice-are-seized-from-Kekirawa

උත්සව සමයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික සහල් කිලෝ  22,000 ක පමණ තොගයක් කැකිරාව ගනේවල්පොල ප්‍රදේශයේ ගබඩාවක තිබියදී අනුරාධපුර පාරිහෝගික සේවා  අධිකාරියේ නිලධාරීන් විසින් පෙරේදා (23) සොයාගනු  ලැබීය. ආනයනික සහල් තොගයක් ගනේවල්පොල ප්‍රදේශයේ සහල් මෝලකදී  දේශීය සහල් සමග මිශ්‍රකර  වෙළෙඳපොළට නිකුත් කරන බවට අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව පෙරේදා පස්වරුවේ මෙම වැටලීම කර ඇත.

  පාරිභෝගික සේවා අධිකාරියේ  නිලධාරින් සහල් මෝල වටලන අවස්ථාවේ එවැන්නක් හමුවී නැති අතර පසුව එහි ගබඩාවක් නිලධාරීන්ගේ පරික්ෂාවට ලක්ව ඇත.

ඉන්දියාවෙන් ආනයනය කළ සහල් කිලෝ 02 ක පමණ තොගයක් ගබඩාවේ තිබී හමුවී ඇති අතර පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් ගැසූ සහල් කිලෝ 22,000 ක් පමණ එහි තිබී හමුවී ඇත. අදාළ සහල් තොග ආනයනය කිරීම සහ ඒවා ගබඩා කිරීම සම්බන්ධයෙන් වූ ලියවිලි කිසිවක් එම අවස්ථාවේ ඉදිරිපත් කිරීමට ගබඩාව හිමිකාර ව්‍යාපාරිකයාට හැකි නොවූ බව ද වැටලීම් නිලධාරීහු සඳහන් කළහ. ඒ අනුව අදාළ සහල් තොගයේ සාම්පල ලබා ගැනීමෙන් පසුව එම සහල් තොගය  ඇතුළත් ගබඩාව මුද්‍රා තැබීමට ද පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන ඇත.සහල් සාම්පල රජයේ රස පරික්ෂකවරයාට යොමුකිරීමට කටයුතු කර ඇති බවත් එහි වාර්තා අනුව සැකකාර ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවත් පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.



සැකකරුවන් උත්සව සමය ඉලක්ක කර ගනිමින් එම සහල් තොගය වෙළෙඳපොළට නිකුත් කිරීමේ සූදානමක සිට ඇති බව ද පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු පැවැසූහ. පාරිභෝගික සේවා අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී බී.ඒ.සී.පී. පෙරේරා මහතාගේ මෙහෙයවීම මත එහි විමර්ශන නිලධාරීන් වන ඒ.එම්.එස්.කේ. අබේසිංහ, එම්.පී.කේ. විජේපාල, එල්.එම්.එස්. නාගම්මන, එම්.එච්. එල්.ඩබ්. ආරියසිරි යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීම කළහ.