ආහාර ගෙන්වීම සඳහා ඩොලර් බිලියන ගණන් පිටරටවලීන් සිඟමන් ඇදීමට පෙර රුපියල ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.ඒ හරහා නැවතත් ඩොලරයක මිල රුපියල් 250ට පමණ අඩු කර ගැනීමට කටයුතු කළ යුතු බවත්,කෙසේ වෙතත් ආණ්ඩුව තවදුරටත් පැලැස්තර විසඳුම් ගනිමින් සිටින බවත්  පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,



"රටේ ප්‍රශ්නය මෙපමණ බැරෑරුම් වෙලා තිබියදී තවමත් පැලැස්තර විසඳුම් සොයන තත්ත්වයකට වැටිලා. මේ අයට අද කරන්න තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා කියන එක ජනාධිපතිතුමා ඇවිත් විශේෂ ප්‍රකාශයක් කරන එක. ඊට පස්සේ කියන්න ඕන ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා. ඊට පස්සේ ඉන්දියාවෙන් හෝ කොහෙන් හරි ඩොලර් බිලියනයක පමණ මුදලක් කෑමවලට නෙවෙයි සංචිතවලට මුදලක් ගන්න ඕන. දැන් තිබෙන 7.5%ක ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩුම ගානේ 15%වත් වැඩි කරන්න ඕන. දැන් මේ කිසිදෙයක් කරන්නේ නැතිවන්නේ ආණ්ඩුව රුපියල අතහැරියේ. අද ඩොලර් එකක් කළු කඩේ රුපියල් 374ට ගත්ත කට්ටිය අපි දන්නවා. දැන් මේක පාලනය කර ගන්න බෑ.

ආණ්ඩුව ආර්ථික විද්‍යාවේ මූලධර්මවලට අනුව නෙවෙයිනේ මේක කළේ. ඔවුන් හිතන්නේ ඔවුන් තමයි හොඳටම දන්නේ කියලා දේශපාලනිකව මේ ගැන හිතුවා. ජීවිතයේ හීනයකින්වත් හිතපු නැති දෙයන්නේ දැන් මේ වෙලා තිබෙන්නේ.

දැන් මේක පාලනය කරන්න නම් පොලී අනුපාතය ඉතාමත් ඉහළ තැනකට ගේන්න ඕන. ඒ හරහා රුපියල තදිම ශක්තිමත් කරන්න වෙළෙඳ පොළට ඩොලර් බිලියන ගානක් අතහැරලා රුපියල නැවතත් ශක්තිමත් කර ගන්න ඕන. එහෙම නැතිව පරිප්පු ගෙන බිලියනයක් දෙන්න කියලා හිඟාකාලා මේක හරින්නේ නෑ. මුලින්ම රුපියල ශක්තිමත් කරන්න ඕන. අඩුම තරමේ ඩොලර් එක රුපියල් 250ටවත් ගේන්න ඕන. මේ ආණ්ඩුව මේ ගැන මුකුත් කරන්නේ නෑ. මෝඩයෝ සෙට් එකක් වගේ බලාගෙන ඉන්නවා"යනුවෙන් සඳහන් කළේය.


(දිනේෂ් සමරකෝන්)