I-was-not-told-to-resign-Cabraal

අද  මාර්තු 17 ඩේලි මිරර් පුවත්පතේ පළ කර තිබෙන වාර්තාවකට අනුව පුවත්පතට  ප්‍රකාශයක් ලබාදෙන මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් තමාට ඉල්ලා අස්වන්න යයි කිසිවෙකු දන්වා නැති බව තහවුරු කර කියා තිබේ.



දැඩි ආර්ථික අර්බුදය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකු අධිපති අජිත් කබ්රාල් මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවට පැතිර යන කතා වැරදි බව ඔහු පවසයි.
කබ්රාල් ඊයේ සවස ඩේලි මිරර් වෙත කියා සිටියේ එම කටකතා වැරදි බවත් තමන් එසේ නොකරන බවත්ය. එවැනි ඉල්ලීමක් ලැබී නැති බවත් ඔහු කියයි.



“එම කටකතාවේ කිසිදු සත්‍යතාවක් නැත,” කබ්රාල් පැවසුවේ මහ බැංකු ප්‍රධානියා ලෙස තමා තවදුරටත් කටයුතු කරන බව යළි තහවුරු කරමිනි. කබ්රාල් විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප්‍රතික්‍ෂේප කිරීම නිසා පසුගිය දිනවල පැහැදිලිවම සන්නිවේදනයේ බිඳ වැටීමක් හෝ ජනාධිපතිවරයා සහ මහ බැංකු ප්‍රධානියා අතර විරසකයක් පවා ඇති විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් මේ සතියේ දිවයිනට පැමිණෙන බවට පළ වූ වාර්තාවලින් පසුව, කබ්රාල් පසුගිය සතියේ ප්‍රකාශ කළේ ඉදිරි සති කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ පැවැත්වෙන රැස්වීම් සමහර ප්‍රවෘත්ති ආයතන ප්‍රකාශ කරන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් පවත්වන්නේ නැති බවයි.



කෙසේ වෙතත්, ජනාධිපති රාජපක්ෂ ඊයේ සවස සිය කතාවේදී කියා සිටියේ තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, වාසි සහ අවාසි පරීක්ෂා කර බලා ඔවුන් සමඟ කටයුතු කිරීමට තීරණය කළ බවත්ය. 

(ඩේලි මිරර් ඇසුරිනි)