A-veterinarian-at-the-Ridiyagama-Safari-Park-has-been-hospitalized-after-being-assaulted-by-trade-union-representatives

හම්බන්තොට,රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරයකුට එහි වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් පහරදීම හේතුවෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ පෙරේදා (23දා) සවස රිදියගම සෆාරි උද්‍යානයට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුවී තිබේ.

සෆාරි උද්‍යානයේ ජීවත් වන “ඩෝරා’’ සිංහ පැටියා ඇතුළු සතුන්ට ප්‍රතිකාර කරන පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මෙලෙස පහරකෑමට ලක්ව රෝහල්ගත කර තිබෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරිය කීවාය.



“මම ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා රිදියගම සෆාරි උද්‍යානයට පෙරේදා සවස ගියා. එහිදී වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් මගෙන් ඇහුවා කතා කරන්න පුළුවන්ද කියලා. ඒ සමග පශු වෛද්‍ය ප්‍රියසාද් ඔවුන්ට පිළිතුරු දෙන්න නතර වුණු අවස්ථාවේ පිරිස එකතුවෙලා ඔහුට පහර දුන්නා. ඔහුගේ හිසට සහ උදරය ප්‍රදේශයට පහරදීම නිසා රෝහල් ගත කෙරුණා.’’යැයි ඇය පැවසුවාය.

පශු වෛද්‍යවරයාගේ ජංගම දුරකථනය පැහැර ගැනීමට වෘත්තීය සමිති නියෝජිතයන් පිරිස උත්සාහ දරා තිබේ.

මේ අතර,අධ්‍යක්ෂ ජනරාල්වරියගේ නිල රථයේ රෝද දෙකක හුළං යවා එහි වෑල්වලට බොරලු පුරවා ඇතැයිද පැවසේ.



මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියට දැනුම්දුන් බව අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය. එමෙන්ම,දෙහිවල ජාතික සත්වෝද්‍යානයයේ වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය අංශයේ සංවර්ධන නිලධාරිනියකට “හූ“කියමින් ඇයට සත්වෝද්‍යානයෙන් පිටවීමට ඉඩලබාදී නොමැති අතර,පසුව දෙහිවල පොලිසිය මැදිහත්ව ඇයට පිටව යෑමට අවස්ථාව සලසා ඇත.

චෝදනා රැසකට සම්බන්ධ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෘත්තීය සමිති නිලධාරියකුට අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් චෝදනා පත්‍රයක් පවා ලබාදී තිබියදී,වනජීවි සහ වන සම්පත් අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් පරිදි ඔහුට සත්වෝද්‍යානයට ඇතුළුවීමට එහි ගණකාධිකාරිවරයා අවස්ථාව ලබාදී ඇතැයිද අනාවරණය වේ.