මෙරට භූගෝලීය පරිසරයට ආවේණික වටිනාකමින් යුතුව සිදුකරන සිලෝන් ටී (Ceylon Tea), සිලෝන් සිනමන් (Ceylon Cinnamon) යනාදී නිෂ්පාදනවල ව්‍යාජ අනුකරණ නැවැත්වීමේ අරමුණින් සකස් කෙරුණු බුද්ධිමය දේපළ (සංශෝධන) පනත පාර්ලිමේන්තුවේ දී අද (8) අනුමත කර ගැනීමට නියමිතය.මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය. වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ  දී පසුගියදා රැස්විය.



ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් දැක්වූ භූගෝලීය දර්ශක ලෙස මෙම නිෂ්පාදන එනයින්ම ලියාපදිංචි කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් බුද්ධිමය දේපළ පනතෙහි ඇතුළත්ව නොතිබූ බැවින් ඒවා මෙතෙක් ලියාපදිංචි කිරීම සිදුවූයේ වෙළඳ ලකුණු විෂය යටතේ සහතික ලකුණු (Certificate marks) ලෙස බව ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ  ජනරාල් ගීතාංජලී ආර්. රණවක මහත්මිය මේ කාරක සභා රැස්වීමේ දී පැවසුවාය. මේ පනත සම්මත වීමෙන් පසුව එවැනි භාණ්ඩ ඉදිරියේ දී ශ්‍රී ලාංකික භූගෝලීය දර්ශක ලෙස ලියාපදිංචි කිරීමට හැකියාවක් ලැබෙන බව ද එමගින් මෙම නාමයන් යටතේ ව්‍යාජ අනුකරණ නැවැත්වීමට නීතිමය රාමුවක් ස්ථාපනය වන බව ද ඇය කීවාය.  



මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මේ සඳහා කැපවීමෙන් කටයුතු කළ අපනයන සංවර්ධන මණ්ඩලය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, බුද්ධිමය දේපළ කාර්යාලය ඇතුළු සෑම පාර්ශ්වයකටම සිය ගෞරවය සහ ස්තූතිය පුද කරන බවයි. එසේම යුරෝපා ආර්ථික ප්‍රජාව ශ්‍රී ලංකා කුරුඳු නාමය භාවිතා කළ හැක්කේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කුරුඳුවලට පමණයි යන රැකවරණය ලබාදීම, රටක් ලෙස ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ලබාගත් විශාල ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා පැවසීය.  මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ දිසානායක සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් ද රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.