The-construction-industry-in-the-country-is-on-the-verge-of-collapse-by-the-New-Year

එළැඹෙන අප්‍රේල් මාසයේදී මෙරට ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටෙනු ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය අනතරු  අඟවයි. විදුලි කප්පාදුව, ඩීසල් හිගය, භාණ්ඩ මිල. ඉහළයාම සහ ඉදිකිරිම් කරුවන්ට මුදල් නොගෙවීම යන හේතූ මත ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටෙමින් ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උපසභාපති මැරින්ටන් පෝල් මහතා  පැවැසීය. වානේ කම්බි නිපදවීමට ගන්නා වානේ බිලට් ලංකාවේ තිබියදීත් වානේ කබ්බි  ටොන් එකක මිල රුපියල් 39,600කින් ඊයේ (10) වනවිට ඉහළ ගොස් ඇතැයි පෝල් මහතා පැවසීය. ඒ අනුව වානේ කම්බි ටොන් එකක මිල රුපියල් දෙලක්ෂ අසූ අට දහසක් (2,88,000) පමණ වන බවද කීවේය.



කොරෝනා වසංගතය ආරම්භ වූ 2020 පෙබරවාරි සිට මේ වන විට වානේ කම්බි මිල සියයට 80 කට වැඩි ගණනකින් ඉහළ  ගොස් ඇතැයි පෙන්වා දුන් පෝල් මහතා  පසුගිය මාස දෙකහමාර ඇතුළදී පමණක් වානේ කම්බි මිල සියයට 17 කින් ඉහළ ගොස් ඇතැයිද සඳහන් කළේය. පසුගිය පෙබරවාරි මාසයේදී පමණක් ඇලුමිනියම් මිල සියයට 28කින් ඉහළ ගොස් ඇතැයි කී හෙතෙම මෙම මාර්තු මාසයේදී ඇලුමිනියම් මිල යළිත් වැඩි කරන බවට අදාළ සමාගම් මගින් තමන්ට දන්වා ඇතැයිද කීවේය.  

මහාමාර්ග ඉදිකිරීම සඳහා භාවිත කරන දේශීය අමුද්‍රව්‍යවල මිල ද සියයට 50ත් 60ත්  අතර ගණනකින් ඉහළ ගොස් ඇතැයි පෙන්වා දුන් පෝල් මහතා තාර මිල සියයට 60කින් ඉහළ යාම හේතුවෙන් රජයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඇනහිටීමේ අවදානමක් ඇතැයි ද සඳහන් කලේය. රටේ එවැනි තත්ත්වයක් උද්ගතව තිබියදී ඉදිකිරීම්කරුවන්ට රජයෙන් ගෙවිය යුතු මුදල් නිසි කලට නිසි පරිදි නොගෙවීම නිසා සමස්ත ඉදිකිරීම් කර්මාන්තයම දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන බවද ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපතිවරයා කීවේය.



දහසකුත් එකක් අර්බුද මැද කර්මාන්තයේ  යෙදෙන ඉදිකිරීම්කරුවන් කොන්ත්‍රාත්  කාලය දිගු කර ගැනීමට යාමේදී ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඒ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදීම නිසා රට පුරා සිටින  ඉදිකිරීම්කරුවන් 7,000කට අධික පිරිසක් අන්ත අසරණව සිටින බවද උපසභාපතිවරයා කීවේය. භාණ්ඩ මිල ඉහළ යද්දී ඉහළ යන මිල ගෙවිය යුතු බවට අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී තිබුණත් ඇතැම් රාජ්‍ය ආයතන ඒ මිල වැඩිවීම් නොගෙවන බවටත් ඇතැම් රාජ්‍ය ආයතන ඒ සඳහා වන ක්‍රමවේදයක් සකස් කරගෙන නොමැති බවටත් ඉදිකිරීම් සංගමයේ උප සභාපතිවරයා චෝදනා කළේය. රටේ පවතින යථාර්ථය තේරුම්  නොගන්නා මේ ඇතැම් රාජ්‍ය නිලධාරීන් නිසා ඉදිකිරීම් කර්මාන්තයේ සෘජු හා වක්‍ර රැකියාවල නියුතු ලක්ෂ 12කගේ රැකියා  අනාරක්ෂිත බවද උපසභාපතිවරයා පැවැසීය.


 -ගුණසිංහ හේරත්-