නාවල ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට පහර දී මුදල් කොල්ල කෑ සිද්ධියට මෙරට නමගිය පාතාල නායකයකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වූ සොත්ති උපාලිගේ පුතා ඇතුළු දෙදෙනෙක් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාස විසින් පෙරේදා (23) සවස අත්අඩංගුවට ගනු ලැබූහ. මොවුන් පිටිපනදී හා නවගමුවේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය  බළකාය පවසයි. මෙම මුදල් කොල්ලය සැලසුම්කර එයට නායකත්වය ලබාදී ඇත්තේ සොත්ති උපාලිගේ පුතකු වන ගයියා' යන අන්වර්ථනාමයෙන් හැඳින්වෙන 29 හැවිරිදි පුද්ගලයා බවට පරික්ෂණවලදී තොරතුරු  අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස්  නිලධාරියෙක්  පැවසීය. කොල්ලකෑ මුදල් සැකකරුවන් සමසේ බෙදාගෙන ඒවාට අයිස් මත්ද්‍රව්‍ය මිලදීගෙන පානය කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය විණියැයි විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.



මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.  මෙම මුදල් කොල්ලය සඳහා සොත්ති උපාලිගේ පුතකු වන 'ගයියා' ඇතුළු පස්  දෙනකු පැමිණ ඇති අතර මෙයින් දෙදෙනෙක් මීට පෙර මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.  කොල්ලය සම්බන්ධයෙන් තව පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සොයන අතර ඔහු ප්‍රදේශය අතහැර පලාගොස් ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.  සොත්ති උපාලි නමැත්තාන්ගේ පුතා මීට පෙර විවිධ වැරැදි සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අයෙක් බවත් ඒ අතර මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක්ද තිබෙන බවත් එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.  සොත්ති උපාලිගේ පුතා හෝමාගම, පිටිපන ප්‍රදේශයේ නිවසක ද අනෙකා කඩුවෙල ප්‍රදේශයේ නිවසක ද සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක ද සිල්වා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායම විසිනි.



නාවල ප්‍රදේශයේ පිහිටි මෙම ඉන්ධන පිරවුම් හලට මන්නා පිහි රැගෙන කඩාවැදී මුදල් කොල්ලය සිදුකර තිබුණේ ඉකුත් 18 වැනිදා රාත්‍රි කාලයේය.  පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් මත එම බළකායේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නදීක ද සිල්වා මහතා ප්‍රධාන  පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.