The-father-who-stole-with-his-daughter-is-in-the-hospital

අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ ආපන ශාලාවකින් උපකරණ සොරා ගැනීමට ගිය බව කියන පියකු හා 11 වියැති දියණියක ප්‍රදේශයේ පිරිසකට හසු වී පහරදීමකට ලක්ව ඇත. හසුවූ අවස්ථාවේ එම පිරිස දැරිය අල්ලාගෙන පොලුවලින් පහරදීමෙන් තුවාල ලැබූ දැරිය අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.


අසල්වාසි සිවු දෙනකු දැරිය සහ පියා පසුපස පන්නාගෙන එන අවස්ථාවේ පියා දියණියව තල්ලු කර දමා පලාගොස් ඇති බවත් වාර්තා විය.
ආපන ශාලාවකින් උපකරණ සොරාගත් බව කියන එම බාල වයස්කාර දැරියගේ 30 හැවිරිදි පියා අක්කරෙයිපත්තුව පොලීසිය විසින් පසුව අත්අඩංගුවට ගෙන ඇත.

අක්කරෙයිපත්තුවේ පදිංචි සැකකරු සිය නිවෙසට නුදුරින් පිහිටි මෙම ආපන ශාලාවට සොරකමේ යද්දී සිය කුඩා දියණිය ද කැටුව ගොස් ඇය ආපන ශාලාව ඉදිරිපිට නතර කර ආපන ශාලාවේ වහලයට ගොඩවී වහලයෙන් බැස එහි තිබූ භාණ්ඩ සොරාගෙන ඒවා බෑගයක බහාගෙන එළියට පැමිණ ඇති බව පොලීසිය කියයි.
කිසිවකු පැමිණියහොත් ඒ බව දැනුම් දෙන ලෙස පියා දියණියට දැනුම් දී තිබෙන බවත්,

සිය පියාගේ සොරකම පිළිබඳව දැරියට අවබෝධයක් තිබී නොමැති බවත් පරික්ෂණවලින් හෙළි වී තිබෙන බව පොලිසිය පවසයි.
සොරාගත් භාණ්ඩ සහිත මල්ල ද රැගෙන දියණිය ද කැටුව පිටව යාමට සූදානම් වූ අවස්ථාවේ අසල සිටි පිරිස පොලු රැගෙන පැමිණ පහරදී තිබේ.
පොලිසිය පරීක්ෂණ සිදු කරයි.