cabral-speaks

මහ බැංකුවේ මුදල් මණ්ඩලය සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරමින්, නිත්‍ය තැත්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFP) පදනම් අංක 100 බැගින් පිළිවෙළින් 6.50%ක් සහ 7.50%ක් දක්වා ඉහළ නංවා ඇති බව දැනුම්දෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය 03වැනිදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බව,

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබඳ දැනුම්දීම වෙනුවෙන් පසුගිය 04 වැනිදා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් මහතා පවසා සිටියේය.


බැංකු අනුපාතිකය, නිත්‍ය  ණය පහසුකම් අනුපාතිකය සමග ස්වයංක්‍රීයවම ගැළපුම් කරමින් 10.50%ක් දක්වා වැඩි වනු ඇත. එනමුත්, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4.00% මට්ටම තුළම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය වැඩිදුරටත් තීරණය කර ඇත.මීට අමතරව ණය කාඩ්පත් මත අය කළ උපරීම පොලී අනුපාතිකය වාර්ෂිකව 20%ක් දක්වා ඉහළ දමා ඇති අතර, පෙර ගිවිසගෙන ඇති. තාවකාලික බැංකු අයිරා මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව 18%ක් දක්වා සහ උකස් පහසුකම් මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව 12%ක් දක්වා ඉහළ නැංවීම වෙනුවෙන් වූ නියෝග කඩිනමින් නිකුත් කරන බවද මුදල් මණ්ඩලය වැඩිදුරටත් පවසා තිබේ.  එමෙන්ම, ඉන්ධන මිල සහ විදුලිය ගාස්තු ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්ද මහ බැංකුව රජයට ඉදිරිපත් කිරීමට මෙවර කටයුතු කර ඇත. මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධිපතිවරයා මෙසේ පවසා සිටියේය.


"මුදල් ප්‍රතිපත්තිය වැඩි විය යුතුයි කියා තීරණය කර තිබෙනවා.

වෙනදා මෙන්, පදනම් අංක 25කට 50කට  සීමා නොකර පදනම් අංක 100ක පමණ වැඩි කිරීමක් සිදුකර තිබෙනවා. මේ අවස්ථාවේදී යම් ආකාරයකින් මූල්‍ය විනයක් ලබාගැනීමට සිදුවෙනවා. ඒ හරහා තමයි, ඉදිරී කාලයේදී අපේ රටේ මූල්‍ය ස්ථායීභාවයට රුකුලක් වන්නේ රටේ මට හා ආර්ථික ස්ථායීතාව රැකගැනීම මහ බැංකුවේ විශේෂ වගකීමක් පවතින බව ඔබ දන්නවා. ඒ සඳහා යම් අවස්ථාවලදී දැඩි තීරණ. ගන්න වෙනවා. ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය පදනම් අංක 100කින් වැඩි කළේ ඒ නිසයි. ඒ තීරණය තවදුරටත් ශක්තිමත් කිර්ම සඳහා රජය වෙත ඉල්ලීම් කිහිපයක් සිදුකර තිබෙනවා. ප්‍රතිපත්ති පැකේජයක් විදියට, සියලු අංශ ගැන අවබෝධයක් ලැබෙන ආකාරයෙන්, ජනතාවට යම් පීඩනයක් ආවත් මේ අවස්ථාවේ කළ යුතු සහ කරන්නට අවශ්‍ය කටයුත්තක් නිසා මෙය ප්‍රසිද්ධියේ කියා සිටිනවා.ඒ අනුව, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට විශේෂ බද්දක් පැනවීමට,


තෙල් මිල සහ විදුලි මිල වැඩි කිරීමට, රටට ලැබෙන විදේශ ප්‍රේෂණ සඳහා තවදුරටත් දිරිගැන්වීම් සිදුකරන ගමන්, විවිධ නීත්‍යනුකූල නොවන ක්‍රමවේද ඔස්සේ මුදල් රටට ගලා එනවා නම් ඒ සඳහා ක්‍රියාත්මක වීමට, බලශක්තිය ඉතිරි කිරීමේ ක්‍රමවේද පාවිච්චි කිරීමට, පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද ඔස්සේ ඉදිරි කාලයේදී එම ක්‍රමවේද හරහා රටේ විදේශ විනිමය ගලා යෑම අඩු කිරීමට මහ බැංකුව යෝජනා කරනවා. එමෙන්ම, යම් අවස්ථාවලදී අපට අමාරු වුණත්, රජයේ ආදායම වැඩි කර ගන්න අවශ්‍යයි. එසේ නොමැතිව, සියලු වියදම් සඳහා ණය ගන්නට සිදුවුණත්, ණය හා පොලිය වැඩි වනවිට පොලී අනුපාත වැඩි විය හැකි නිසා එය තුලනය කර ගන්න සිදුවෙනවා. ඒ නිසා ආදායම් වැඩි කළ යුතුයි. එසේම, විදේශයන්ගෙන් ණය නොවන ක්‍රමවේද ඔස්සේ රටට මුදල් ගලා ඒම දිගැත්වීමට, උපායමාර්ගික නොවන ඌන උපයෝගී වත්කම් කඩිනමින් මුදල් බවට පත් කර ගැනීමට, අත්‍යවශ්‍ය නොවන හදිසි නොවන ප්‍රාග්ධන ව්‍යාපෘති තවදුරටත් කල් දැමීමට, පොලී අනුපාතය තවදුරටත් වැඩි නොකර වෙනත් මාර්ග ඔස්සේ ප්‍රතිප්තති. මාර්ග කිහිපයක් හරහා ආර්ථිකය තුලනය වන ස්ථානයක් කරා ගෙන යාමට යෝජනා කරනවා. මෙයින් රජට මෙන්ම ජනතාවටත් පීඩනයක් ආවත්, ස්ථායීභාවය දිගුකාලීනව රැකගැනීමේදී කෙටිකාලීනව සමහර තීරණ අප ගත යුතුයි. මේ තීරණ මේ අවස්ථාවේදී කළ නොහැකි වුවහොත්, ඉදිරියේ තත්වය අනුව තවත් දැඩි තීරණ ගන්න සිදුවේවි. යම් පීඩනයක් තිබුණත්, අප ණය ගෙවීම් තවදුරටත් සිදුකරනවා.




විශේෂයෙන්ම අපට සංචාරක ක්ෂේත්‍රයෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 9ක් පමණ අහිමි වුණා. 2022 ජනවාරි 18වැනිදා අපට ණය ගෙවීමට නොහැකි වේවි යැයි ඇතැම් පාර්ශ්ව කිව්වා. ඒ නිසා රටට විය හැකි හානිය දිගින් දිගටම ඔවුන් කිව්වා. නමුත් අපි ණය ගෙව්වාම, ඒ අයම දැන් ණය ගෙවන්න එපා කියනවා. අපට තවමත් ණය ගෙවීමට හැකි වාතාවරණයක් තිබෙනවා. කෙසේ වෙතත්, 2021 වසරේ තමයි වැඩිම ආනයන තියෙන්නේ, ඒ නිසයි. අපි මේ ඉල්ලීම් ඉදිරිපත් කළේ” යැයි මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේය. මහ බැංකුව ලෙස දේශපාලනයෙන් තොරව තීන්දු තීරණ ගත්තද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන කටයුතු, දේශපාලන ගැටුම්, ජනතාවගේ හැඟීම්, මාධයේ ලියන දේවද බලපෑ හැකි බවද පවසා සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතා, "මුදල් අමාත්‍යවරයා සහ මා අතර ඝට්ටනයක් නැහැ. මහ බැංකුව ලෙස අපේ මතය සහ රටට කළ යුතු දේවල් කිසිම දේශපාලනයකින් තොරව හෙළිදරව් කර තිබෙනවා. අපට වගකීම තියෙනවා උපදෙස් දෙන්න, අපි ඒක කරනවා. මහ බැංකුව ලෙස රජය වෙත නිර්දේශ කරන යෝජනා සලකා බලන ලෙස. රජයට උනන්දු කරවනවා. ඒ ගැන රයට මෙන්ම ජනතාවටත් කියනවා. මේවා දේශපාලන ඉල්ලීම් නෙවෙයි, මේක තාක්‍ෂණික ඉල්ලීමක්. මේවා ක්‍රියාත්මක කිරීම රජය විසින් කළ යුතුයි” යනුවෙන් පවසා සිටියේය.




මහ බැංකුව විසින් නිර්දේශ කරන ප්‍රතිපත්ති රට තුළ ක්‍රියාත්මක වීමට ලැබෙන සහයෝගය ගැන තෘප්තිමත්දැයි යන පැනයටද මහ බැංකු අධිපතිවරයා මෙසේ අදහස් පළ කළේය. "මහ බැංකුව ලෙස අප  තීන්දු තීරණ ප්‍රකාශ කරන්නේ දේශපාලනයෙන් තොරවයි. නමුත් මේවා ක්‍රියාත්මක කරද්දී දේශපාලන කටයුතු, දේශපාලන ගැටුම්, ජනතාවගේ හැගීම්, ඔබ තුමන්ලා (මාධ්‍ය) ලීයන දේවල් සමහර විට බලපාන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳ ඔබතුමන්ලාගේ (මාධ්‍යයේ) සහයෝයත් අප මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. මේවා ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාම බැහැයි කියා කීවොත්, මේවා ක්‍රියාත්මක කිරීමට අපහසුයි. ඒ නිසා දේශපාලනයේ පමණක් නෙවෙයි, මාධ්‍යයේත් සහයෝගය අවශ්‍යයි. අපි මේවා කොහොමද කරන්නේ, මෙච්චර ප්‍රශ්න එනවා කියලා කිව්වාම ඒකෙනුත් යම් බලපෑමක් එනවා. එතනදි දේශපාලනඥයනුත් යම්  පැකිලීමක් දක්වන්නට පුළුවන්. මේ ඉල්ලීම කරන්නේ රට වෙනුවෙන්. දේශපාලඥයන් පමණක් නොවෙයි, සියලු දෙනාම වගකීමෙන් කටයුතු කළ යුතුයි. ඒ වගේම, මුදල් අමාත්‍යවරයා සමග මම බොහොම සුහදව කටයුතු කරනවා. නමුත් ප්‍රතිපත්තිමය තීරණ මුදල් අමාතයංශය වෙත යොමු කිරීමට මහ බැංකුව ලෙස අපටත් යම්කිසි වගකීමක් තියෙනවා. ඒ පිළිබඳ රජය වෙත දැනුම්දීම අපේ වගකීමක්. මුදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති හැටියටත් ඒ වගකීම තිබෙනවා. ඒ දෙස විවිධ අය බලාගෙන ඉඳිමින්, එය විවිධ ආකාරයට අර්ථකථනය කරන්න පුළුවන්. ඒ වුණාට ඒ වගකීම අප ඉටුකරනවා” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

 (ෂමිල පෙරේරා)