cloth-price-hike

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් සියලුම නිමි ඇඳුම් මිල 30%ත් 31%ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුව තිබෙන බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පමණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. අමුද්‍රව්‍ය ගෙන්වීමේදී අඩි 40ක කන්ටේනරයක් වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු ලෙස නැව් සමාගම අය කළ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදල මේ වනවිට රුපියල් ලක්ෂ දහයකට ආසන්න වී තිබෙන බවත්,



භාණ්ඩයක් වශයෙන් ගෙන්වීමේදී වර්ග අඩියකට අය කළ රුපියල් 6,000ක මුදල රුපියල් 25,000කට ආසන්න වී තිබෙන බවත් එම සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා පැවසීය.රුපියල් 600කට අලෙවි කළ නූල් කිලෝවක මිල රුපියල් 1,500 ඉක්මවා ගොස් තිබෙන බවත්, රුපියල් 600කට අලවි කළ ඉලාස්ටික් කිලෝවක මිල රුපියල් 1,800ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් පවසා සිටි හෙතෙම, රුපියල් 800ත් 1,000ත් අතර මුදලකට අලෙවි කළ නිමි ඇඳුම් සකස් කිරීමට අවශ්‍ය රෙදි වර්ගවල කිලෝවක මිල රුපියල් 2,000කට ආසන්න වී තිබෙන බවද ප්‍රකාශ කළේය.පවතින තත්වය තුළ දේශීය නිමි ඇඳුම් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවත්,

මේ නිසා දහස් ගණනකට රැකියා අහිමි වෙමින් තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.රටට බරක් නොවී ග්‍රාමීය ජනතාව මැෂින් කිහිපයක් උපයෝගී කර ගනිමින් නිමි ඇඳුම් කර්මාන්තයේ නිරතව සිටි. බවත්, පවතින තත්ත්වය තුළ විශාලම බලපෑමක් සිදුව තිබෙන්නේ එම ජනතාවට බවත් පවසා සිටි ඒ මහතා,

මේ නිසා ග්‍රාමීය ආර්ථිකය විශාල වශයෙන් කඩා. වැටී තිබෙන බවද පැවසීය.

මහා භාණ්ඩාගාරය සතුව ඩොලර් නොමැතිව තිබියදී ඩොලරය පා වීමට ඉඩ හැම නිසා රුපියල්203කට පැවති ඩොලරයක මිල ඊයේ දිනය වනවිට රුපීයල්265ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, මේ ආකාරයට ඩොලරයේ මිල ඉහළ යාම දිගින් දිගටම සිදුවුවහොත් පවතින තත්ත්වය ඉදිරියේදී බරපතළ අර්බුදයක් බවට පත් වන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.


(ඉන්දික හේවාවිතාරණ)