covid19-dead-body

කෝවිඩ් මෘතදේහ අදාළ ඥාතීන්ගේ අභිමතය පරිදි ඔවුන්ට අවශ්‍ය ස්ථානයක භූමදානය හෝ ආදාහනය කිරීමට අවසර හිමි වුවද, දේහය බහා මුද්‍රා තබා ඇති පෙට්ටිය විවෘත කිරීමට හෝ එය නිවෙස් වෙත රැගෙන යාමට කිසිදු අවසරයක් ලබාදී නැතැයි කෝවිඩ් මෘතදේහ කළමනාකරණ කමිටුවේ සභාපති, අධිකරණ වෛද්‍ය  විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා ප්‍රකාශ කළේය.



රෝහල් බලධාරීන් විසින් මුද්‍රා තබා ඥාතීන් වෙත භාර දෙනු ලබන කෝවිඩ් මෘත දේහ එම අවස්ථාවේ සිට පැය 24ක කාලයක් තුළ දී ආදාහනය හෝ භූමදානය කිරීම අනිවාර්ය වන බවත් රෝහල් බලධාරින් විසින් දේහය ඥාතීන්ට භාර දෙනු ලබන අවස්ථාවේදී ළඟම ඥාතීන් 10දෙනෙකුට පමණක් දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබාදෙන බවත්, අදාළ භූමදාන හෝ ආදාහන අවස්ථාවට ඕනෑම පුද්ගල සංඛ්‍යාවකට සහභාගි විය හැකි බවත් දන්වා ඇත.

මීට අමතරව ප්‍රථම පී.සී.ආර්. හෝ රැපීඩ් ඇන්ටිජන් පරික්‍ෂණය සිදුකළ දින සිට දින 07කට පසුව යමෙකු මරණයට පත් වූයේ නම්, එම මරණය කෝවිඩ් මරණයක් ලෙස නොසැලකෙන බවත්, ඒ අනුව එවැනි දේහයන් නිවෙසට රැගෙන ගොස් අවසන් කටයුතු සිදුකිරීමේ අවස්ථාව සලසා දී ඇති බවත් දන්වා ඇත.