විස්සයි20 තරග තුනකින් සමන්විත ඉන්දීය තරග සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය තරගාවලිය නිමා කිරීමට සිදු වූයේ තරග 3-0ක පූර්ණ තරගාවලි පරාජයක් වැලඳ ගනිමිනි. පිත්තෙන් හෝ පන්දුවෙන් නැති නම් අඩුම තරමේ පන්දු රැකීමෙන්වත් ශ්‍රී ලංකාවට සතුටුවිය නොහැකි වූ මෙම තරගාවලියේ යම් තරමකින් හෝ අස්වැසිල්ලක් වූයේ නායක දසුන් ශානක හා පැතුම් නිස්සංක ලකුණු අතරට පැමිණීමයි. කෙසේ නමුත් මෙහිදී ප්‍රහාරත්මක පිතිහරඹයක නියැළුණු දසුන් ශානක මේ වනවිට ඉන්දීය ක්‍රීඩාලෝලීන් අතර යම් කතා බහක් ඇතිකර හමාරය.|

ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ අවසන් විස්සයි20 තරගයේදී දසුන් පන්දු 38කින් ලකුණු 74ක් රැස් කළ අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ගෙරවය ලකුණු 146ක් දක්වා රැගෙන ඒමට ඔහුට හැකි විය.

මෙහි විශේෂත්වය වන්නේ දසුන් එම ඉනිම ගොඩනැගුවේ පන්දුවාර 09ක් අවසන් වන මොහොතක ලකුණු 29කට ඉනිමේ කඩුලු 04ක් බිඳ වැටී තිබියදීය. දෙරට අතර දෙවැනි විස්සයි20 තරගයේද දසුන් විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ අතර, එහිදී ඔහු ඉන්දීය ක්‍රීඩාලෝලීන් මෙම පන්දු යවන්නන් පවා මවිතයට පත් කරමින් දැවැන්ත හයේ පහර 05ක් සමගින් පන්දු 19කින් ප්‍රවේගකාරි ලකුණු 47ක් රැස් කිරීමට සමත් විය.ඒ අනුව දසුන්ගේ ඇදහිය නොහැකි වූ එම උත්සාහවන්ත ඉනිම් ගොඩනැගීමෙන් පසු ඉන්දීය ක්‍රීඩාලෝලීන් දසුන්ගේ පිතිහරඹය සමාජ මාධ්‍ය තුළින් ප්‍රශංසාවට ලක් කළේය.එහිදී ඇතමුන් පවසා සිටියේදසුන්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් කොන්ත්‍රාත්තුව අහිමි වූයේ ඇයි දැයි යනුවෙනි.

එමෙන්ම තවත් සමහරු පවසා සිටියේ

අයි.පී.එල්. ලංසු තැබීමේ ක්‍රීඩක වෙන්දේසිය ක්‍රියාවලිය මෙම තරගාවලියෙන් පසුව සිදු වූයේ නම් ඔහුගේ ඉරණම මීට වඩා වෙනස්විය හැකි බවයි. "දසුන් ශානකගේ පිතිහරඹය දැක්කම පුදුමයි. ඔහුට අයි.පී.එල්. කොන්ත්‍රාත්තුව මඟහැරුනේ කෙසේද?, විස්සයි20 ෆැන්වයිස් තරගවලට අවශ්‍ය සියලුම දක්‍ෂතා ඔහු සතුයි” යනුවෙන් එක් අයෙක් පවසා තිබුණි. එමෙන්ම තවත් අයෙකු පවසා සිටියේ, "අයි.පී.එල්. වෙන්දේසියට කලින්  මේ තරගාවලිය තිබුණා නම් ඔහුට ලේසියෙන්ම කෝටි 02ක් ගන්න තිබුණා” යනුවෙනි. මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී දසුන් ශානකට ඉන්දීය රුපියල් ලක්‍ෂ 50ක මූලික වටිනාකමක් හිමිව තිබුණත් ඔහුව කිසිඳු කණ්ඩායමක් විසින් මිලදී ගනු නොලැබිණි. ඔහුට මෙම වසරේදී අයි.පී.එල්. වරම් හිමිවන්නේ නම්, ඒ ක්‍රීඩක වෙන්දේසියේ අලෙවි වූ ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වුවහොත් හෝ වෙනත් විශේෂ හේතුවක් මත ක්‍රීඩා නාකරන්නේ නම් පමණි. ඒ අනුව දසුන්ට මෙම වසරේදී අයි.පී.එල්. වරම් හිමිවීම සීමා සහිත වනු ඇත.


(විශ්ව මුදියන්සේ)-