divulapitiya-incident

දිවුලපිටිය කොටදෙණියාව ප්‍රධාන මාර්ගයේ හීරලුගෙදර ප්‍රදේශයේදී එකම දිශාවට ගමන් ගත් ටිපර් රථයක් සහ යතුරුපැදියක් ඊයේ (17)  එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ පිටුපස ගමන් කළ 16 හැවිරිදි පාසල් සිසුවියක් අනතුර සිදු වූ ස්ථානයේදීම මියගොස් ඇතැයි කොටදෙණියාව පොලිසිය පවසයි. දිවුලපිටිය පින්නලන්දවත්ත ප්‍රදේශයේ පදිංචි කේ.ඩබ්. දිල්සි  දිල්හාරා නමැති පාසල් සිසුවිය මෙසේ මියගොස් තිබේ. මියගිය සිසුවිය දිවුලපිටිය නගරයේ පාසලක  11වසරේ ඉගෙනුම ලබන බව පොලිසිය කීය.  යතුරු පැදිය පදවා ඇත්තේ මරණකාරියගේ මව විසිනි.



කොටදෙණියාව ප්‍රදේශයේ සිට දිවුලපිටිය ප්‍රදේශයට ගල් කුඩු ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ගමන් කර තිබේ. එම ටිපර් රථය  පිටුපසින් ගමන් කරමින් තිබූ යතුරුපැදිය ටිපර් රථයට ඉස්සර කර අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ කිරීමේදී ටිපර් රථය යතුරුපැදියේ ගැටී ඇති බව පොලිසිය කීය. ටිපර් රථය යතුරුපැදියේ ගැටීමෙන් අනතුරුව යතුරු පැදිය පෙරළී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. යතුරුපැදිය පෙරළීමෙන් අනතුරුව මාර්ගයේ  වැටී සිටි පාසැල් සිසුවියගේ හිස මතින් ටිපර් රථය ගමන් කිරිමෙන් පාසල් සිසුවිය අනතුර සිදු වූ ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

යතුරුපැදිය පැද වූ මියගිය පාසැල් සිසුවියගේ මව අනතුරෙන් සුළු තුවාල ලබා ඇති බව ද පොලිසිය කීය.  යතුරුපැදිය සහ ටිපර් රථය අපරික්ෂකාරී ලෙස ධාවනය කිරිම අනතුරට හේතුවී ඇති බවට පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

අනතුරින් මිය ගිය පාසල් සිසුවියගේ මළ සිරුර වතුපිටිවල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (18) පැවැත්වීමට නියමිත බවත් කොටදෙණියාව පොලිසිය පවසයි.  ටිපර් රථය සහ එහි රියදුරුව  කොටදෙණියාව පොලිසිය මගින් අත්අඩංගුවට  ගෙන ඇති අතර රියදුරුව අද (18) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට  ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 ටෝනි කරුණානායක