සුරතලයට ඇති කරන බල්ලකු අවට පදිංචි 12 හැවිරිදි පිරිමි දරුවකුගේ මුහුණ දරුණු ලෙසට සපා කෑම හේතුවෙන් එම බල්ලාගේ හිමිකරුවා අත් අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය කියයි. දරුවාගේ පියා විදෙස්ගතව සිටින අයෙකි. දරුවාට සිදු වූ අනතුර දැනගත් ඔහු වහාම මෙරටට පැමිණ, ඉකුත් 01 වැනිදා සවස් යාමයේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව, සුනඛයාගේ හිමිකරුවා ඉකුත් 4 වැනිදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. නිවස අවට පිහිටි වෙළෙඳසලකට බඩු ගැනීමට මෙම දරුවා ඉකුත් 01 වැනිදා සවස් යාමයේ ගොස් ඇති අතර,
එහිදී වෙළෙඳසල අසළ දම්වැලකින් ගැට ගසා සිටි බල්ලා එය කඩාගෙන දරුවා ඉදිරියට පැන පෙරළාගෙන මුහුණ සපා කන අවස්ථාවේ දී එහි සිටි පිරිස් පැමිණ බල්ලා එළවා දමා ඇතත්, අනතුරින් මුහුණේ දකුණු පෙදෙසට බරපතළ ලෙසට හානි සිදුව ඇති බව පොලිසිය කියයි.
දරුවාගේ බෙල්ලේ පිටුපස පෙදෙසට දත් පහරවල් කිහිපයක් වැදී තිබෙන බවත්, පොලිසිය සඳහන් කරයි. බරපතළ ලෙසට තුවාල ලැබූ දරුවා ඒ මොහොතේම පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත්කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා මුහුණට ප්ලාස්ටික් සැත්කමක් සිදුකර තිබෙන බවත්, ඔහු තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. දරුවාගේ බෙල්ලේ පිටුපස පෙදෙසට වැදී තිබෙන දත් පහරවල් බල නහරවලට වැදුණා නම් දරුවාගේ ජීවිතයට පවා හානියක් සිදුවීමට ඉඩ තිබූ බවද රෝහලේ වෛද්‍යවරයෙක් ඒ සම්බන්ධව කළ විමසීමක දී පැවසීය.
සුරතලයට ඇති කරන සුනඛයකු සපා කෑමෙන් මුහුණට මෙලෙස බරපතළ ලෙස හානි සිදුවී ඇත්තේ, පොල්පිතිගම ජාතික පාසලේ 6 වසරේ ඉගෙනුම ලබන නාගොල්ල ප්‍රදේශයේදී දරුවකුගේ බව පොලිසිය කියයි. මෙම බල්ලා මීට පෙරත් මහමග ගමන්ගත් උදවිය සපා කා ඇති බවත් රැල්ලට මෙන් අනාරක්ෂිතව බල්ලන් ඇති කරන මෙවැනි උදවියට පාඩමක් ඉගැන්වීම සඳහා මෙම සිද්ධිය අධිකරණය හමුවට රැගෙන යන බවත් දරුවාගේ පියා පවසයි. එසේ නැතිව තම දරුවාට සිදුවූ හානිය වෙනුවෙන් වන්දියක් අවශ්‍ය නැතැයිද ඔහු කීවේය.
0 Comments