dollar-rate-change

මේ දක්වා ඩොලරයක විකිණුම් මිල රුපියල් 203ක පමණ මට්ටමක රඳවා තබාගැනීමට මහ බැංකුව කටයුතු කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත රුපියල පාකිරීමට රජය තීරණය කර තිබේ. ඊයේ (7) රාත්‍රි සිට මෙය සිදුවිය.





මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ, බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑතකාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්වයන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022 මාර්තු 04 වැනිදා පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත්කරන ලද බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ඇතිවෙමින් පවතින සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළෙඳ පොළ ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරන අතර, උද්ධමනය, විදේශීය අංශය සහ මූල්‍ය අංශයේ ස්ථායීතාව ළඟා කරගැනීමේ අරමුණින් තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවත් දැනුම් දෙයි.



ඩොලරයේ මිල පාලනයෙන් ඉවත්ව, මිල තීරණය කිරීමට වෙළෙඳ පොළට ඉඩදෙමින්, ඇමෙරිකානු ඩොලරයක් සඳහා  රුපියල් 230කට නොවැඩි මට්ටමක්  පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නමශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළෙඳ පොළට ඉඩ සලසන බව පවසන ශ්‍රී ලංකා මහ බැංකුව, විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයිද අපේක්ෂා කරයි.  මීට අමතරව, තවදුරටත් දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළෙහි ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරමින් අවශ්‍ය පරිදි සුදුසු ප්‍රතිපත්ති ගැළපීම් සිදුකරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරයි.