පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බව දනිමින් ඒ පිළිබඳව පොලීසියට තොරතුරු වසන් කළ බවට පාස්කු ඉරුදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ස්වයං ඝාතකයන් වන ඉන්සාෆ් අහමඩ් හා ඉන්සාම් අහමඩ් යන අන්තවාදීන් දෙදෙනාගේ පියා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන මැයි මස 25 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පෙරේදා (29) නියම කළේය. පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බව දනිමින් ඒ පිළිබඳව පොලීසියට තොරතුරු වසන් කළේ යැයි චෝදනා කරමින් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.
2019 වසරේ අප්‍රේල් මස 21 වනදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට සහ ඒ හරහා ජාතිවාදී කෝලාහල ඇති විය හැකි බවට තොරතුරු දැන ගනිමින් ඒ පිළිබඳව පොලිස් නිලධාරියකුට දැනුම් නොදී තොරතුරු වසන් කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ඇතුළු විත්තිකරුවන් තුන් දෙනාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත. මෙලෙස චෝදනා ලැබ සිටින්නේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් යුසුප් මොහොමඩ් ඊබ්‍රාහිම්, මොහොමඩ් ඉජාස් අහමඩ්, මොහොමඩ් ඊබ්‍රාහිම් ඉස්මයිල් අහමඩ් යන විත්තිකරුවය. ඔවුන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයන් වෙනුවෙන් ඇප අයැදුම් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි දැනුම් දුන්නේය. ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව ඇතැයි විනිසුරුවරයා දැනුම් දුන්නේය. මෙම නඩුව ලබන මැයි 25 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියම කළේය.
-මනෝප්රිය ගුණසේකර-
0 Comments