father-arrested-for-burning-seven-year-old-daughters-hand-in-hot-water

හත්හැවිරිදි සිය කුඩා දියණියගේ අතක් නටන උණුවතුර භාජනයක ඔබා පිලිස්සු බව කියන එම දැරියගේ අලුගෝසු පියා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. නටන උණුවතුර භාජනයේ එබීමෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ කුඩා දැරිය රෝහල් ගතකර ඇත.  මෙම බාල වයස්කාර දැරිය කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි. දැරියගේ මව ඇය තම මවගේ (මිත්තනියගේ) බාරයට පවරා මැද පෙරදිග රටක රැකියාවකට ගොස් ඇති බවත් මත්කුඩුවලට ඇබ්බහි වූවකු වන දැරියගේ පියා වෙන්ව ජීවත් වන බවත් ඔහු ත්‍රිරෝද රථ රියදුරකු බවත් පොලිසිය කියයි.

සැමියා තදින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටින නිසා කුඩා දියණිය හදා වඩා ගැනීමටත් ඇයට හොඳ අධ්‍යාපනයක් ලබා දීමටත් දැරියගේ මව, දැරිය ඇයගේ මිත්තණියගේ බාරයට පවරා මෙසේ රට ගොස් ඇති බව ද සඳහන් වේ. උණුවතුරට පිළිස්සුණු දැරියගේ අතට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී පෙරේදා (9) ශල්‍යකර්මයක් කර තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.  අත්අඩංගුවට ගත් සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු වන අතර ඔහු මිනීමැරුමක් සම්බන්ධයෙන් වූ නඩුවක සැකකරුවෙක් බවත් එම නඩුව තවමත් අධිකරණයේ විභාග වන බවත් පොලිසිය පවසයි. දැරිය සිය ආච්චි අම්මාගේ (මවගේ අම්මා) නිවසේ සිට පාසල් යන අතර දැරියගේ පියා වෙනම නිවසක වෙසෙන බව ද කියයි.



සැකකරු දියනිය සිටින නිවසට ගොස්  බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයේ නංවාගෙන ඔහුන්ගේ නිවසට පැමිණ ඇත.  උඹ නිසා තමා අම්මා මාව දාලා රට ගියේ යැයි කියමින් සැකකරු ත්‍රිරෝද රථය තුළ දී ද දැරියට පහර දී ඇති බවත් මේ නිස දැරියගේ එක් ඇසක් ආසන්නයේ තුවාලයක් ද සිදුවී ඇති බවත් පොලිසිය කීය. දැරිය නිවසට කැඳවාගෙන ආ සැකකරු  කෝප්පයකට වතුර දමා ලිප තබා එම වතුර නටන තෙක් දරුවා එම උණු වතුර කෝප්පයට කුඩා දියණියගේ අත ඔබා පුලුස්සා ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. දුම් දමමින් තිබූ උණුවතුර කෝප්පයට අත එබීමට පියා උත්සාහ කරන අවස්ථාවේ ඇය "අනේ එපා තාත්තේ' යැයි කියමින් මරහඬ දෙමින් කෑ ගසා ඇති බව කියති.  

සිය දියණියගේ බැගෑපත් ඉල්ලීම මායිම් නොකළ මෙම අලුගෝසු පියා ඇයගේ අත නටන උණුවතුර කෝප්පය තුළට ඔබා ඇති බව පොලිසිය පැවසීය.  දැරිය තමාගේ මාමා (මවගේ සහෝදරයා) ගෙදරට ගෙන්වා ගෙන තාත්තා කළ දේ ගැන ඔහුට පවසා ඇති බව පොලිසිය කියයි. මේ බවක් පොලිසියට පැමිණිලි නොකර වෙනත් කරුණක් පවසා දැරියට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ඔවුන් සූදානම් වී ඇතත් එය වැළකී ගොස් ඇත්තේ ඔහු සමග පැමිණි අයකු දැරිය කියන කතාව කාටත්   හොරා ජංගම දුරකතනයෙන් වීඩියෝ කර එය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට බාර දීම නිසා බව ද පොලිසිය කීය.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් පිළිස්සුම් තුවාල ලබා සිටි දැරිය ඔවුන්ගේ බාරයට ගෙන විස්තර විමසා ඇයගේ පියා අත්අඩංගුවට ගෙන   තිබේ. දැරිය මුහුණ පෑ සිද්ධිය ඇයගේ මාමාට අකුරක් නෑර කියන අවස්ථාවේ වීඩියෝ ගත කළ පුද්ගලයා එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා නොහැර වීඩියෝව පොලිසියට ගෙනැවිත් බාරදීම ගැන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් ඔහුට පැසසුම් කර ඇති බව දැන ගැනීමට ඇත.


-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය--