gl-peris-uk

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් ශ්‍රී ලංකාව පිළිබඳ බ්‍රිතාන්‍ය සංචාරක උපදේශනයේ අනුක්‍රමික සංශෝධන සාවද්‍යතාවයන් සහිත බව පෙන්වා දී ඇති අතර එමඟින් රට පිළිබඳ සෘණාත්මක ප්‍රතිරූපයක් ප්‍රක්ෂේපණය වී තිබෙන බවට කරුණු දක්වා ඇත.


 මාර්තු 15 වැනි අඟහරුවාදා ඉහළ මට්ටමින් එක්සත් රාජධානියේ බලධාරීන්ට මේ පිලිබඳව ඔහු දන්වා ඇත.

පාස්කු ප්‍රහාර අවදානමක් දක්වා ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී ප්‍රහාර ඇතිවීමේ සම්භාවිතාව සහ ඒවායේ නොසැලකිලිමත් ස්වභාවය පිළිබඳ සංචාරක උපදේශනයේ සඳහන් සටහන බිම් යථාර්ථයට පටහැනි බව දන්වා ඇති ජීඑල් රට විචිත්‍රවත්, ආරක්ෂිත සහ සාමකාමීව, අමුත්තන් පිළිගැනීමට සූදානම් රටක් බව කියා ඇත.

ගෝලීය වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස රටේ සංචාරක ව්‍යාපාරය යන්තම් පණ ගැන්වීමට පටන් ගෙන ඇති අවස්ථාවක සහ ආර්ථිකය ප්‍රබෝධමත් කිරීම සඳහා රටට විදේශ ප්‍රේෂණ අවශ්‍ය වන මොහොතක සංචාරක උපදේශනයේ මෙවැනි සාවද්‍යතාවයන් පවතින ආර්ථික අවපාතයන් තවත් තීව්‍ර කළ හැකි බව අමාත්‍යවරයා අනතුරු අඟවයි.



ඒ අතරම, මේ වසරේ මුල් මාස දෙක තුළ ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීමේ වැඩිවීම පිළිබඳව අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කර ඇත. ශ්‍රී ලංකාවට සංචාරක ප්‍රවාහයේ තුන්වන විශාලතම මූලාශ්‍රය වන්නේ එක්සත් රාජධානියයි.

රට තුළ පවතින ප්‍රායෝගික යථාර්ථයන් වඩාත් හොඳින් පිළිබිඹු කිරීම සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් රාජධානියේ සංචාරක උපදේශනය ධනාත්මක ලෙස සංශෝධනය කරන ලෙස ද විදේශ අමාත්‍යවරයා එක්සත් රාජධානියේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.