harin-suspect

සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර සැකකටයුතු පාර්සලයක් පාර්ලිමේන්තු සංකීර්ණයට බලහත්කාරයෙන් රැගෙන එන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට පවරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  පැවැසීය.  කෙසේ වෙතත් අනිද්දා (3) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු සංකීර්ණයට සැකකටයුතු පාර්සලයක් මෙසේ ගෙනැවිත් ඇතැයි  පැවසෙන්නේ පසුගිය 24 වැනිදාය.  මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් වහාම පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නැයි සභානායක දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන්ට  ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් මැතිසබයේදී පසුගිය 25 වැනිදා ඉල්ලීමක් කළහ.

ඒ අවස්ථාවේදී කතානායකවරයා පැවසුවේ  එම සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරන බවයි.

එහෙත් පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එලෙස පැමිණිලි කිරීමේ හැකියාවක් පවතින නීතිමය තත්ත්වය යටතේ නොමැති බව පාර්ලිමේන්තු නිලධාරින් කතානායකවරයාට පෙන්වා දී ඇත. සිද්ධිය ගැන පරීක්‍ෂණ පැවැත්වීම වරප්‍රසාද කමිටුවට පැවරීමට කතානායකවරයා තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවය. විදුලිය කපා හැරීමට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් විදුලි පන්දම් දල්වමින් (ටෝච්) පාර්ලිමේන්තු සභා ගර්භයේ  පසුගිය 24 වැනිදා උඝෝෂණයක් පැවැත්වූහ. මෙම සැකකටයුතු පාර්සලය පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙනැවිත් ඇතැයි පැවසෙන්නේ එම දිනයේදීය.


 අංජුල මහික වීරරත්න-