ipl-2022-start-tomorrow

ලොව දැවැන්තම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 15වැනි අදියර නැතහොත් 2022 තරග වාරය හෙට (26)දා ආරම්භ වේ. මෙවර තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 05දෙනෙකුද තේරී පත්ව සිටින හෙයින්, කලකට පසු අයි. පී.එල්. කෙරෙහි මෙරට ප්‍රේක්‍ෂයන්ගේද විශේෂ අවධානයක් යොමුව ඇත.

මෙවර තරග වාරය ආරම්භ කරමින්, පළමු තරගය වත්මන් ශුර චෙන්නායි හා කොල්කටා අතර මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, මෙය ප.ව.7.30ට ආරම්භ වීමට නියමිතව ඇත. මෙම වසරේ සිට කණ්ඩායම් සංඛ්‍යාව 10ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් මෙවර අදියර මූලික වටයේ තරග 70ක්, අවසන් පූර්ව (playoff) හා අවසන් මහා තරගය ඇතුළත් තවත් තරග 04කින් සමන්විත වෙයි.

සමස්ත තරගාවලිය දින 65ක් පුරා පැවැත්වෙන අතර, ඉන් මූලික වටයේ තරග මැයි 22 දක්වා පැවැත්වේ. කෙසේ නමුත් සියලුම තරග මුම්බායි හා පූනේ නගර කේන්ද්‍ර කර ගනිමින් පමණක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර තරගාවලිය වෙනුවෙන් ඉකුත් පෙබරවාරි මස සිදුකළ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 05 දෙනෙකු තේරී පත් වූ අතර, එය කලකට පසු මෙරට ක්‍රීඩකයන් සහභාගි වන වැඩිම සංඛ්‍යාවයි. ඒ අනුව මෙවර තරගාලියට ක්‍රීඩා කිරීම සඳහා වනිඳු හසරංග (බැංගලෝර්), දුෂ්මන්ත චමීර (ලක්නව්),

මහීෂ් තීක්ෂණ (චෙන්නායි), චාමික කරුණාරත්න (කොල්කටා) හා භානුක රාජපක්ෂ (පංජාබ්) මේ වනවිට ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. මේ අතර අයි.පී.එල්. ආරම්භයේ සිට චෙන්නායි කණ්ඩායමේ නායකත්වය දැරූ ඉන්දීය හිටපු නායක එම්.එස්. දෝනි නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති අතර, ඒ වෙනුවට රවින්ද්‍ර ජඩේජා පත්කිරීමට චෙන්නායි බලධාරීන් තීරණය කර ඇත. අවස්ථා කිහිපයකදී පමණක් සුරේෂ් රයිනා චෙන්නායි කණ්ඩායම මෙහෙයවා තිබීමත්, කණ්ඩායමට පැනවූ දෙවසරක තහනමත් හැරෙන්න 2008 වසරේ ආරම්භ වූ පළමු අයි.පී.එල්. පළමු වාරයේ සිට මේ දක්වාම දෝනි චෙන්නායි කණ්ඩායමට නායකත්වය දුන්නේය. ඒ අනුව චෙන්නායි කණ්ඩායමට නායකත්වය දෙන තුන්වැනි ක්‍රීඩකයා ජඩේජා වනු ඇත.-