jvp-egg-throw-remand

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට කඩා වැදී ප්‍රහාරයක් එල්ල කළැයි නිට්ටඹුව පොලිසිය අත්අඩංගුවට ගත් හිටපු හමුදා සෙබළුන් දෙදෙනකු ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය ඊයේ (07) නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ විශ්‍රාමික හමුදා සෙබළුන් වන ආනන්ද බණ්ඩාර සහ රත්මල් අසිත කුමාර යන දෙදෙනාය.  මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (07) යළි කැඳවූ අවස්ථාවේදී ජාතික ජන බලවේගය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි  ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් කුමාරපේළි මහතා සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළව එම ස්ථානයේ සිටි පිරිස පොලිසියට අල්ලා දුන් සැකකරුවන් දෙදෙනා  මොවුන් බවය.

එම අවස්ථාවේදී පොලිසිය විසින් අදාළ සැකකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව මැද වතුපිටිවල මූලික  රෝහලේ අංක 07 වාට්ටුවට ඇතුළත්  කරනු ලැබ සිටියදී අධිකරණයට ඉදිරිපත් නොකරම මුදාහැර ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දැනුම්  දුන්නේය.

පොලිසිය මෙසේ කටයුතු කර ඇත්තේ, පොලිසියේ උසස් නිලධාරීන් කිහිප දෙනකුගේ සහ ප්‍රබලම දේශපාලනඥයකුගේ නියෝග පරිදි බව ද නීතිඥවරයා සඳහන් කළේය.  එසේම, මෙම සිද්ධියට අදාළ අනෙක් සැකකරුවන් 14 දෙනා සම්බන්ධයෙන්ද කිසිදු විමර්ශනයක් සිදු නොකොට පොලිසිය කටයුතු කර ඇත්තේ අධිකරණය ද නොමග යවමින් බව ද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. මෙම බිත්තර ප්‍රහාරය පිළිබඳව පැමිණිලි කළ පුද්ගලයන් දෙදෙනකු ද සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන ඇති පොලිසිය, පැමිණිල්ල විත්තිය  කොට කටයුතු කර ඇති බව ද නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනු ලැබූ බවත්,

මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප ලබාදී අද දින  අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබූ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.  මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ විමර්ශන අවසන්ව නොමැති වීම හේතුවෙන් මෙම සැකකරුවන් දෙදෙනා ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.   මෙම සිද්ධියේ සැකකරුවන් දෙදෙනකුට පහර දුන් බව කියන ජාතික ජන බලවේගයේ සාමාජිකයන් දෙදෙනකු ඊයේ (07) පොලිසිය වෙනම නඩු ගොනුවකින් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී එම දෙදෙනා එක් අයකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ හරිත් හෙට්ටිආරච්චි, නීතිඥ ධනුජය සමරසිංහ, ජාතික ජන බලවේගය වෙනුවෙන් නීතිඥ චමින්ද ගුණවර්ධන, නීතිඥ උදය කුමාර, නීතිඥ උත්පලා දයාරත්න යන මහත්ම මහත්මීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

 ආනන්ද ඉ. ජයකොඩි