ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීම සඳහා ඊයේ (14දා) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර විසින් පන්දු යැවීමේ පුහුණුකරු (Bowling Coach) වශයෙන් මාලිංගව නිර්දේශ කළ අතර,

ඒ වෙනුවෙන් ඔහු ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඒ අනුව මාලිංග අද (15දා) දින සිට රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ලසිත් මාලිංග අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන අතර, ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් අයි.පී.එල්. තරගාවලි 09කට (2009-2019 දක්වා) සහභාගි වී තිබේ. ඔහු එහිදී තරග 122කදී කඩුලු 170ක් දවාගෙන ඇත්තේ කඩුලු 05ක් දවාගත් අවස්ථා එකක් සහ කඩුලු 04ක් දවාගැනීමේ අවස්ථා 06ක් වාර්තා කරමිනි.

මාලිංග අවසන් වරට ක්‍රීඩා කළ අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එහි ශූරතාව දිනාදීමට සමත් වූයේ අවසන් පන්දුවෙන් කඩුල්ලක් දවාගනිමිනි. මීට අමතරව හෙතෙම 2018 වසරේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයෙකු (Bowling . Mentor) වශයෙන්ද කටයුතු කර තිබුණි.


(පැතුම් ශ්‍රී විජේරත්න)