නාඋල පොලිස් බල ප්‍රදේශයට අයත් දෙකේ කණුව ප්‍රදේශයේදී පොලිසිය ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් නිලධාරින් හා ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයකු අතර ඇතිවූ පොර බැදීමකින් පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී එම පුද්ගලයා මියගොස් ඇතැයි නාඋල පොලිසිය කියයි.
ඊයේ (3) වූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ නාඋල,දෙකේ කණුව ලිපිනයේ පදිංචිව සිටි ඒ.වී. තුෂාර චන්ද්‍රරත්න නමැති 37 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි. නිවසේ සුනඛයාට ප්‍රතිකාර ලබා ගැනීමට දඹුල්ලට යෑමට ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම පරීක්ෂා කිරීම සිදුවී ඇති බව පොලිසිය පවසයි. පොලිසිය මෙම ත්‍රිරෝද රථය පරීක්ෂා කිරිමට සුදානම් වූ අවස්ථාවේදී තම ගමන ප්‍රමාද වන බැවින් පරික්ෂා කිරීමට නොකරන්නැයි ත්‍රිරෝද රථයේ සිටි අය පොලිසියෙන් ඉල්ලීමක් කර ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවල දී හෙළිවී ඇත. එම අවස්ථාවේදී සිදුවී ඇතැයි කියන පොර බැදීමේ දී පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී පොර බැදූ අයට වෙඩි වැදී ඇති බවද කියති.
පොලිස් නිලධාරින් දෙදෙනෙකු යතුරු පැදියෙන් පැමිණ ත්‍රිරෝද රථය පරික්ෂවට ලක්කොට ඇති බවද පොලිසිය කියයි. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා නාලන්ද රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. සිද්ධිය වූ ස්ථානයට පැමිණි නාඋල
පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.එස්. රාජනායක මහතා ප්‍රමුඛ නිලධාරීන් මූලික පරීක්ෂණ පැවැත්වූ අතර මියගිය අය ළග තිබී හෙරොයින් මත්කුඩු පැකට් 13 ක්ද සොයාගත් බව රාජනායක මහතා කීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (3 වැනිදා) මහේස්ත්‍රාත් පරික්ෂණ සිදු කිරිමට නියමිතව තිබූ අතර මළ සිරුර නාලන්ද රජයේ රෝහලේ තැන්පත් කර ඇති බව නාඋල පොලිසිය කියයි. මේ සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කාංචන කුමාර ආරියදාස
0 Comments