panadura-keels-road-hotel-murder-woman

පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක වැසිකිළි වලක සඟවා තිබූ තරුණියකගේ සිරුරක් අද (29) සොයාගෙන ඇතැයි වාර්තා විය. පින්වත්ත පොලිසියට වැසිකිළි වළක් තුළ කාන්තා සිරුරක් ඇති බවට හෝටල් හිමිකරු දුන් තොරතුරක් මත පානදුර කීල්ස් නිවාස සංකීර්ණ පාරේ පිහිටා ඇති හෝටලයට පොලිසිය ගොස් සිදු කළ පරීක්ෂණ වලදී වැසිකිලි වළ තුළ තිබී සිරුර හමු විය.




පානදුර අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු එන් සිල්වා ඉදිරියේ වැසිකිළි වළේ කොන්ක්‍රීට් පියන විවෘත කර සිරුර සොයාගත්තේය.
මෙම තරුණිය,හෝටලයට පැමිණ ඇත්තේ එක් තරුණයෙකු සමග බවත් පසුව තවත් පුද්ගලයින් තිදෙනෙකු සමීපව ඇසුරු කර ඇති බවත් තොරතුරු වාර්තා වන අතර මේ වනවිට අතුරුදන්ව ඇති හෝටලයේ කළමණාකරු සහ හෝටල් සේවකයින් දෙදෙනා අනෙක් තිදෙනා බවද පැවසිණි.
ඔවුන් ඇය ඝාතනය කර සඟවන්නට ඇති බවට සැක කෙරේ.
හෝටලයේ ලියාපදිංචි ලේඛනය අනුව එම තරුණිය 26 හැවිරිදි වියේ පසුවන්නියක බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. තවත් පුද්ගලයෙකු සමග ආවේ කොළඹ සිට බව ඇය පිළිගැනීමේ කවුන්ටරයට දන්වා ඇත.



වැසිකිළි වළේ තිබී ඇගේ යයි සැක කරන අත් ඔරලෝසුවක්, ජංගම දුරකථන ආරෝපණයක්, උල් පිහියක්, කාන්තා පාවහන් යුගලයක්, උපත් පාලන කොපුවක්, තුවායක්, පාපිස්සක් සහ රෙදි කැබලි කිහිපයක්ද සොයාගෙන තිබේ.

හෝටලයේ කළමණාකරු සහ හෝටල් සේවකයින් දෙදෙනෙක් ඊයේ (28) අලුයම හෝටලයෙන් පළාගොස් තිබූ අතර සේවකයින් දෙදෙනා පමණක්  මේ වනවිට අත්අඩංගුවේ පසුවෙයි. ඝාතනය සම්බන්දයෙන් ඔවුන් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 40 සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.


මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වනවිට අරඹා ඇති අතර සැක සහිත අනෙක් දෙන්නා සොයා විමර්ශන ක්‍රියාත්මකය. මියගිය තරුණියගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා පරීක්ෂණ පැවැත්වෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.