ජීවිතයේ සැඳෑ සමය ගෙවන වයෝවෘද්ධ ධනපති සහ විවිධ දේපළ හිමි පුද්ගලයන් බියවද්දා ඔවුන්ගේ ඉඩකඩම් ව්‍යාජ ඔප්පු සකස් කර බලහත්කාරයෙන් අත්පත් කරගන්නා විවිධ තරාතිරම්වල දේශපාලඥයන්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන් ඇතුළු නානාවිධ පුද්ගලයන්ගෙන් සමන්විත කණ්ඩායම් 12ක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් පැවසේ. සිය දූ දරුවන් විදේශ රටවල සිටින වයෝවෘද්ධ මවුපියන් කෙරෙහි මෙම කණ්ඩායම් වැඩි වශයෙන් අවධානය යොමු කරගෙන සිටින අතර එවැනි මවුපියන් බියවද්දා බොරු නඩු පටලවා ඉඩකඩම් ඇතුළු දේපළ බලහත්කාරයෙන් පවරා ගැනීමට කටයුතු කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ප
ොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය. මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි දහස් ගණනක් ලැබී ඇතැයි ඔහු සඳහන් කළේය.
හුදෙකලාව ජීවත්වන මෙවැනි වයෝවෘද්ධ මවුපියන් සම්බන්ධයෙන් තොරතුරු ඇතැම් බැංකුවල, පළාත් පාලන ආයතනවල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සහ ඇතැම් නිලධාරින් මාර්ගයෙන් ලබා ගන්නා බවටත් එවැනි තොරතුරු ලබාදී උදව් කරන නිලධාරින්ට මේ සංවිධානාත්මක කණ්ඩායම් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඇතුළු තුටුපඬුරු ලබාදෙන බවටත් තොරතුරු හෙළිවී ඇත. මව්පියන්ට තර්ජනය කිරීම සඳහා ඇතැම් පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් පවා යම් යම් අවස්ථාවලදී යොදවාගෙන ඇතැයි කියති. ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකසා නඩු මාර්ගයට අවතීර්ණ කරවා ගෙන වයෝවෘද්ධ මවුපියන් එම කටයුතු මගින් හෙම්බත් කරවා සහ විවිධ තර්ජන ගජන කරමින් ඔවුන්ගේ ඉඩකඩම් එසේ බලහත්කාරයෙන් පවරා ගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් විමර්ෂණ ආරංචි මාර්ග කියයි.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වටිනා ඉඩම් රැසක් මේ සංවිධානාත්මක කල්ලි විසින් පසුගිය කාලයේදී බලහත්කාරයෙන් පවරා ගනු ලැබ ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සත්‍යය සහ යුක්තිය උදෙසා පුරවැසියෝ සංවිධානයේ කැඳවුම්කරු අනුර ගුණරත්න මහතා පවසන්නේ මේ බරපතළ ඉඩම් වංචාව රටපුරා දැවැන්ත ආකාරයට සිදුවන බවයි. අයථා අන්දමින් මුදල් උපයා ගෙන සිටින ධනවත් ව්‍යාපාරිකයන්ද මේ ජාවාරම පිටුපස සිටින බවත් මේ ජාවාරම සාර්ථක කර ගැනීමට බොහෝ අවස්ථාවලදී ඇතැම් පොලිස් නිලධාරිගේ ද සහාය ලබාගන්නා බවත් එම සංවිධානයේ නීති උපදේශක නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පැවසීය. මේ වංචනිකයන් මේ ආකාරයට වංචනික ලෙස ඉඩම් කොල්ල කා ගත් පසු ඒවා විවිධ ක්‍රම මගින් නීත්‍යානුකූලත්වයට පත්කර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
-සුජිත් හේවාජුලිගේ-
0 Comments