prasanna-speaks

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් සඳහා ඉන්ධන ලබාදීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, එම පිරිස සඳහා ගෑස් හිඟයකින් තොරව ලබාදීමටත්, සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් කිරීමටත් සැලසුම් කර තිබේ.  පවතින ඉන්ධන, ගැස් හා විදුලිබල අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් කැඳවා තිබූ සාකච්ඡාවකදී මෙම තීරණවලට එළඹ ඇත. දැනට සංචාරකයන් ප්‍රවාහනය කෙරෙන බස් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඩීසල් ලබාදීම සිදුවේ. දැනට එය සිදු වන්නේ සංචාරක කලාප ආශ්‍රිත ඩිපෝ මගින් පමණි. එය තවදුරටත් පුළුල් කරමින් දිවයින පුරා පිහිටි හඳුනාගත් ලංගම ඩිපෝ මගින් සංචාරක බස් රථවලට ඩීසල් ලබාදීමට මෙහිදී තීරණය කර ඇත.

සංචාරක සංවර්ධන අධිකාරිය මගින් එම ඩිපෝ හඳුනාගෙන ප්‍රවාහන අමාතයංශයට දැනුම් දීමෙන් පසු අදාළ ඩිපෝවලට අවශ්‍ය අමතර ඩීසල් තොග ලබාදීමට බණිජ තෙල් නීතිගත සංස්ථාව ඒහිදී එකඟතාව පළ කර තිබේ. විදුලි කප්පාදුව සිදුවන අවස්ථාවලදී සංචාරක හෝටල්වල කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇති ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධනද මෙම ඩිපෝ මගින් ලබාදීමට පියවර ගැනීමට නියමිතය.

සංචාරක බස් රථ හා ජෙනර් සඳහා ඉන්ධන ඩිපෝ මගින් ලබාදීම සඳහා විශේෂ හඳුනා ගැනීමේ කාඩ්පතක් සංචාරක සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කිරීමටද මෙහිදී තීරණය කර තිබේ. සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන අනෙකුත් වාහන සඳහාද මෙම කාඩ්පත හඳුන්වාදීමටත්, ඉන්ධන ලබාදීමේදී ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදීමේ වැඩපිළිවෙළක් අදාළ අංශ මගින් ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂිතය. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙහිදී විදුලිබල මණ්ඩල නියෝජිතයන්ගෙන් ඉල්ලා ඇත්තේ ඇතැම් ආර්ථික මර්මස්ථාන විදුලි කප්පාදුවෙන් නිදහස් කර ඇති ආකාරයට සංචාරක කලාපද විදුලි කප්පාදුවෙන් නිදහස් කරන ලෙසයි. රටේ විදුලි බලය බෙදා හැරිමේ ක්‍රමවේදය තුළ සංචාරක කලාපවෙන් කිරීම පිළිබඳ ගැටලුවක් පවතින බවත්, කෙසේ වෙතත් ඒ සඳහා ඇති හැකියාව පිළිබඳ විදුලිබල මණ්ඩල ඉන්ජිනේරුවන් සමග සාකච්ඡා කර කඩිනමින් වාර්තාවක් ලබාදීමටත් විදුලිබල මණ්ඩලය මෙහිදී එකඟතාව පළ කර තිබේ.

 සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් කිරීමට හැකි උපරීම පියවර ගන්නා බවද විදුලිබල මණ්ඩල නිලධාරින්හු මෙහිදී සඳහන් කර ඇත.

ගෑස් බෙදාහැම සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, ගෑස් සමාගම් නියෝජිතයන් දුරකථන ඔස්සේ සම්බන්ධ කරගත් ප්‍රසන්න රණතුංග මහතා සංචාරක හෝටල් සඳහා ගෑස් අලෙවි නියෝජිතයන් හරහාගෑස් ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. ඒ සඳහාද කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට ඔවුහු එකඟතාව පළ කර ඇත. පවතින බලශක්ති අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින්තොරව පවත්වාගෙන යාම සඳහා මෙම සාකච්ඡාවේදී ගත් තීරණ සම්බන්ධයෙන් කඩිනමින් කැබිනට් මණ්ඩලය දැනුම්වත් කිරීමටද නියමිතය.

ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කර ඇත්තේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් හා සංචාරකයන් ප්‍රවාහනය කරන්නන් මෙන්ම මෙම ක්ෂේත්‍රයේ නිරත එලෙස ලියාපදිංචි නොවූ හෝටල් හා සංචාරකයන් ප්‍රවාහනය කරන පුද්ගලයන්ටද මෙම සහනය හිමි විය යුතු බවයි. ඒ පිළිබඳ අවධානය යොමු කර අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා සංචාරක සංවර්ධන අධිකාරියට මෙහිදී උපදෙස් දී තිබේ. මෙම සාකච්ඡාව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැඳවා තිබූ අතර, ප්‍රවාහන, විදුලිබල, බලශක්තිය අමාතයංශවල ප්‍රධානීන් හා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ, ත්‍රිවිධ හමුදාවේ, පොලීසීය, සංචාරක අමාතයංශයේ හා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 (නවෝද්‍යා පවනි)