ranil-prime-minister
දැනට රටේ සියලුම අංශයන්හි පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ පවතින රජය දේශපාලනික වශයෙන් අපකීර්තියට පත්ව තිබෙන අතර ඉදිරි මැතිවරණයකදී හෝ ඊට පෙර පාර්ලිමේන්තු බල වෙනසකින් සිය බලය අහිමිකරගැන්මේ අවදානමකට ලක්ව තිබේ.


මෙම දේශපාලන පසුබැස්ම වළක්වාගැනීමේ හා රජය තවදුරටත් බලපෑමකින් තොරව පවත්වාගැනීමේ උපායමාර්ගයක් වශයෙන් පවතින පොහොට්ටු ආණ්ඩුව වෙනුවට පක්ෂ රැසක එකමුතුවකින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමටත් එම ජාතික ආණ්ඩුව අගමැතිවරයෙකු යටතේ මෙහෙයවීමටත් එම තනතුරට අපකීර්තියට ලක්වූ ‘රාජපක්ෂ‘ කෙනෙකු නොයෙදීමටත් තීරණය කර ඇති බව දේශපාලන ආරංචි වාර්තාකරයි. (මෙහිදී ජනපති ගෝඨාභයගේ වෙනසක් සිදු නොවේ)


ඒ අනුව නව ජාතික ආණ්ඩුවේ අගමැති ලෙස තෝරාගන්නට යෝජනාවී ඇත්තේ එජාප නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහයි. තවත් මාසයක් යන්නට පෙර  සිංහල අවුරුදු සමයේ මෙම වෙනස සිදු කරන්නට දින යොදා ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ජාතික ආණ්ඩු පිහිටුවීමේ අරමුණවී ඇත්තේ රජයට එරෙහි පැනනැගී ඇති දැවැන්ත ජනතා විරෝධයට කිසියම් අස්වැසිල්ලක් ලබාදෙන මුවාවෙන් ජනහඩ තාවකාලිකව යටපත් කිරීමය. අනෙක් අතට රාජපක්ෂ කණ්ඩායමට පාලනය කළ හැකි හිතවාදියෙකු අගමැති කරවීම හරහා බලය අහිමිකර නොගෙනම ප්‍රශ්නයෙන් ගොඩඑන්නට ආණ්ඩුව උත්සාහ දරයි.
මේ අතර රනිල් යනු සජබ කණ්ඩායමේ ප්‍රතිරෝධී චරිතයක් වීම තුළ සජබින් කඩාගන්නා පිරිස් ඒකරාශී කිරීමටද මෙම ආණ්ඩු පිහිටුවීම හා ඇමති බලතල පැවරීම් ඔස්සේ හැකියාව ලැබෙනු ඇතැයි කල්පණා කර තිබේ. දැනටමත් රනිල් හා එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට කැමති අය සොයමින් සාකච්ඡා සිදුවන බවද අභ්‍යන්තර තොරතුරු හෙළි කර තිබේ.මෙම යෝජනාවට මෛත්‍රී විමල් ඇතුළු කැඩෙන බවට ඉඟි පළකරන පක්ෂ සහ සජිත් ප්‍රිය නොකරන සජබ පිරිස් කැමතිවී ඇතැයිද වාර්තා පළව තිබේ.


මේ අතර දැනට තනි ආසනයේ පක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේදී අවප්‍රමාණවී පවතින එජාපය ශක්තිමත් කරවීම සඳහා පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර රාශියක් වෙනසකට ලක්කරනු ඇතැයිද ඔවුන්ට ඉල්ලා අස්වන්නට කියා රනිල්ගේ පක්ෂයේ අය එම පුටුවලට පත්කරන්නට නියමිතව ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා පැවති සර්ව පාක්ෂික සමුළුව වාර්තාකරණයේදීද රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ඉහළ නංවා වාර්තා පළ කිරීමට රජයේ මාධ්‍ය කටයුතු කළ අතර පසුගිය සතියේ යෙදුණ රනිල්ගේ උපන්දිනය වෙනුවෙන් වෙන කවරදාවත් නැතිව විශේෂ ලිපි අතිරේක පළ කිරීමටද රජයට සම්බන්ධ පුවත්පත් උනන්දු විය.


ඊයේ පෙරේදා සමාජ මාධ්‍ය තුළ පැතිරගිය ආරංචියකින් කියැවුනේ වයෝවෘද්ධ අගමැති මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිර මුළුතැන්ගෙයි සේවකයින් සමග පැවසූ කතාවකි. සත්‍ය අසත්‍යතාව සනාථ නොකළ එම කතාවෙන් කියැවුනේ 'සිංහල අවුරුද්දෙන් පසු අලුත් අගමැති කෙනෙකු එනවා ලෑස්තිවෙන්න' යයි මහින්ද අගමැතිවරයා කියූ බවකි.
කලකට ඉහත රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ ‘උන් ඔක්කොම යාළුවො මල්ලි‘ කියාය.