school-30-persent

රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථ සහ පාසල් සිසුන්ගේ ප්‍රවාහන සේවා සීමා කිරීම හේතුවෙන් මේ දිනවල පාසල්වලට කැඳවන සිසුන් සංඛ්‍යාවෙන් පැමිණ ඇත්තේ 30%ක් පමණක් බව ලංකා ගුරු සංගමය (CTU) පවසයි.



පසුගිය මාර්තු 7 වැනිදා අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයකින් ලබාගත් තොරතුරුවලට අනුව එදින පාසලට පැමිණ ඇත්තේ කැඳවූ සිසුන් සංඛ්‍යාවෙන් 30%ක් පමණ වන බව ඔවුන් පවසා ඇත.
 “අපි මේ ප්‍රශ්නය ගැන පැමිණිලි කරනකොට, අධ්‍යාපන අමාත්‍යාංශය කියනවා ‘සිසුසැරිය’ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංගම) අයත් බස් රථ ඕනෑ තරම් තියෙනවා කියලා. නමුත් සිසුසැරිය සහ ලංගම බස් රථවලින් පාසලට එන්නේ ඉතා සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණයි.” සංගමය දන්වයි.

මේ අතර, බොහෝ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ පාසල් සිසුන් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන බැවින් පවතින ඉන්ධන අර්බුදය විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ගුරු සංගමය සහ සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමා ප්‍රවාහන සංගමය පසුගියදා රජයෙන් ඉල්ලා සිටියේය.



දැනට රට තුළ පවතින ඇමෙරිකානු ඩොලරයේ හිඟය හේතුවෙන් ඉන්ධන ආනයනය අඩාල වීම හේතුවෙන් රට තුළ ඉන්ධන, විශේෂයෙන්ම ඩීසල් හිඟයක් මතුව තිබේ. මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබෙන අතර ජනතාව ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබේ.