sltb-busses

ලංගමය සතුව තිබෙන බස් රථ 7,500ක ප්‍රමාණයෙන් බස් රථ 2,000ක පමණ ඇති වී තිබෙන කාර්මික දෝෂ නිසා ධාවනයෙන් ඉවත් කර තිබෙන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.



මේ නිසා මෙම බස් රථ යථාතත්වයට පත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන හා අලුතින් බස් රථ ප්‍රමාණයක් ලංගමයට ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගෙන් ඉල්ලා සිටින බවද එම සංගමයේ ලේකම් සේපාල ලියනගේ මහතා පැවසීය. වසර පහකට අධික කාලයකින් ලංගමයට අලුතින් බස්රථ ලබාදී නොමැති බවත්, පසුගිය කාලයේදී වර්තමාන ආණ්ඩුව යටතේ අබලන්ව පැවති බස් රථ 200ක් පමණ අලුත්වැඩියා කටයුතු කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.පවතින බස් හිඟකම නිසා මොනරාගල සිට පහතරාව දක්වා ගමන් කළ ලංගම බස් රථයක ඩිකියේ පාසල් සිසුන් කිහිපදෙනෙක් හොරෙන් ගමන් කර තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය. අදාළ බස් රථයේ කොන්දොස්තර මහතාට බසයේ පිටුපසින් ශබ්දයක් ඇසීම නිසා බසය නවතා බස් රථයේ ඩිකිය පරික්ෂා කර තිබෙන බවත්,

ඉන්පසුව පාසල් සිසුන් ඩිකියෙන් බස්වා බස් රථයේ ඇතුළට නංවාගෙන තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.එම සිසුන් ගමන් කළ අදාළ පාසල් බස් රථය අතරමග ආපදාවකට ලක් වූ නිසා එම සිසුන් මෙම රථයට නැග තිබෙන බවත්,

එම මොහොතේ පවා මොනරාගල සිට පහතරාව බස් රථයේ අධික මගීන් ප්‍රමාණයක් ගමන් කර තිබෙන බවද සේපල ලියනගේ මහතා සඳහන් කළේය.

බස් රථයේ මගී ප්‍රමාණය අධික වූ නිසා පාසල් සිසුන් හට බස් රථයේ ඩිකියේ ගමන් කිරීමට සිදු වී තිබෙන බවත්, මෙම සිද්ධිය පදනම් කර ගෙන මොනරාගල, පහතරාව බස් රථයේ කොන්දොස්තර මහතා දැනට පොරොත්තු සේවයේ යොදවා තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.මේ නිසා අදාළ කොන්දොස්තරවරයා පොරොත්තු සේවයෙන් ඉවත්කර ඔහුගේ සුපුරුදු සේවය ලබාදෙන ලෙසට අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගෙන් ඉල්ලා සිටින බවද ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.-